යුද්ධයෙන් බැට කෑ ගාසා තීරයට හිම කුණාටුවක් කඩා වැදුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට දෙදිනකට පෙර ග්‍රීසියට සහ සයිප්‍රස් රාජ්‍යයට ගංවතුර තත්ත්වයක් ද උදා කළ බයිරොන් හිම කුණාටුව පෙරේදා ගාසා තීරයට කඩා වැදී ලක්ෂ අටකට ආසන්න පලස්තීනුවන් දැඩි පීඩාවට පත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
කුණාටුව හේතුවෙන් උද්ගත වූ අධික වර්ෂාපතනය හා දැඩි සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා පවතිනු ඇතැයි කාලගුණ වාර්තා අනාවැකි පළ වී ඇති අතර, දැනටමත් පලස්තීනුවන් 16 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය ඔක්තෝබර් මාසයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම ආරම්භ වීමෙන් පසු ගාසා තීරයට එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විසින් ජල ආරක්ෂිත කූඩාරම්, බ්ලැන්කට් ඇතුළු පහසුකම් සපයනු ලැබුවද, එය කුණාටුවට සහ වර්ෂාවට ඔරොත්තු නොදෙන බව ද වාර්තා වේ.
පවතින අධික සුළං සහිත වැසි කාලගුණ තත්ත්වය මධ්‍යයේ අනාරක්ෂිත කූඩාරම්වල රැඳී සිටින යුද්ධයෙන් අවතැන්වූ පලස්තීනුවන්ගේ කූඩාරම් ස්ථාපිත කර ඇති ප්‍රදේශවල ප්‍රමාණවත් ජලාපවහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයක් නොමැති බවත්, යුද්ධයේ සුන්බුන් මැද පිහිටි කූඩාරම්වල සිටින පලස්තීනුවන් දැඩි සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
යුද්ධය හේතුවෙන් දැනටමත් යටිතල පහසුකම් බිඳ වැටී ඇති ගාසා තීරයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් බරපතළ හානියක් සිදුවිය හැකි බවට ජාත්‍යන්තර සංවිධාන රැසකින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.
ඊශ්‍රායලය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ පානීය ජලය ඇතුළු පහසුකම් තවදුරටත් අවහිර කිරීමෙන් මෙවර කුණාටු සහිත සීත සෘතුවේදී පලස්තීන වැසියන් දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවී ඇතැයි ද ගාසා සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර තිබේ.