ශ්‍රී ලංකාව සිය ණය පැහැර හැරීමෙන් (debt default) පසු මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට දරන ප්‍රයත්නයන්ට, ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආර්ථික බලපෑම නිසා නැවුම් පීඩනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි මූඩීස් ආයෝජක සේවය (Moody’s Investors Service) පවසයි.
එම ආයතනය පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන සහ අදාළ ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම අඛණ්ඩව පවතින නමුත්, හානි අලුත්වැඩියා කිරීම සඳහා දැරීමට සිදුවන අමතර වියදම් පශ්චාත්-පැහැර හැරීමේ (post-default) අයවැය ඒකාබද්ධ කිරීමේ (fiscal consolidation) ක්‍රියාවලිය මන්දගාමී කරනු ඇති බවයි.
සුළි කුණාටුව හේතුවෙන් මාර්ග, පාලම්, දුම්රිය මාර්ග ජාල සහ විදුලිබල පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති අතර, එමගින් සැපයුම් දාමයන් සහ ජාතික ආර්ථික ක්‍රියාකාරකම් අඩාල වී තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන රැකියා මූලාශ්‍ර වන සංචාරක, කෘෂිකර්ම සහ නිෂ්පාදන යන ක්ෂේත්‍රවලට මෙයින් දැඩි බලපෑමක් එල්ල වීමට ඉඩ ඇතැයි මූඩීස් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ වියට්නාමය සමග භෞතික දේශගුණික අවදානම්වලට ඉහළ ණය නිරාවරණයක් සහිත රටවල් ලෙස මූඩීස් වර්ගීකරණය කර තිබේ.
ඒ අනුව “ශ්‍රී ලංකාවට සිය අසල්වැසියන්ට වඩා අඩු මූල්‍ය ධාරිතාවක් ඇති බැවින් දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව (resilience) වැඩි කර ගැනීම දුෂ්කරයි” යනුවෙනුයි මූඩීස් සඳහන් කර ඇත්තේ.
එවැනි දේශගුණික ආශ්‍රිත අවදානම් අවම කිරීම සඳහා ඵලදායී පාලනයක් (Effective Goveance) අත්‍යවශ්‍ය බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර තිබේ.