යුරෝපා සංගමයේ ප්‍රධාන පුවත් මූලාශ්‍රය ලෙස X සමාජ ජාලය නම් කර තිබේ.
ලෝක ධනවතකු වන එලොන් මස්ක් විසින් තමාට අයත් සමාජ මාධ්‍ය වේදිකාව වන X යුරෝපා සංගම් (EU) රටවල් තුළ ප්‍රවෘත්ති සඳහා ප්‍රමුඛතම මූලාශ්‍රය බවට පත්ව ඇති බව ප්‍රකාශ කර තිබුණේය.
මස්ක් මුලින්ම සඳහන් කළේ X සමාජ ජාලා මෘදුකාංගය යුරෝපයේ බොහෝ රටවල වාර්තාගත ලෙස බාගත කර ඇති බවයි.
X වෙත ඩොලර් මිලියන 140ක දඩයක් පැනවීමට යුරෝපා සංගමය තීරණය කිරීමෙන් අනතුරුව, මස්ක් පැවසුවේ සාමාජික රටවල් 27 කින් යුතු යුරෝපා සංගමය අහෝසි කරන ලෙසයි.
ඉන් ටික වේලාවකට පසු ඔහු ප්‍රකාශ කළේ X දැන් “සෑම EU රටකම අංක 1” බවයි.
මස්ක්ගේ මෙම ප්‍රකාශය සඳහා මූලාශ්‍රය වූයේ Tesla Owners Silicon Valley විසින් කරන ලද පළ කිරීමක්.
එහි සඳහන් වූයේ X සමාජ ජාලය, ඕස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙක්, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටා, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය යන සියලුම EU රටවල් 27 තුළ ප්‍රවෘත්ති සඳහා අංක 1 මූලාශ්‍රය බවට පත්ව ඇති බවයි.
යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කරනු ලබන අන්තර්ගත හා විනිවිදභාවය පිළිබඳ දැඩි නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඩොලර් මිලියන 140ක දඩයක් X වෙත පනවා තිබුණේය.
මෙම නීති 2023 අගෝස්තු මාසයේදී බලාත්මක කරන ලද්දක්.
මෙම දඩය පැනවීමට හේතු ලෙස යුරෝපා සංගමය සඳහන් කළේ X හි නිල් ‘හරි’ සලකුණේ වංචනික සැලසුමක් සහ එහි දැන්වීම් ගබඩාවේ විනිවිදභාවය නොමැතිකමයි.
තවද, Digital Security Act (DSA) යටතේ අනිවාර්ය කර ඇති පරිදි, පර්යේෂකයන්ට වේදිකාවේ පොදු දත්ත වෙත ප්‍රවේශය ලබා දීමට X අපොහොසත් වූ බව ද යුරෝපා සංගමය පැවසුවේය.
දඩය පැනවීමෙන් පසු මස්ක් යුරෝපා සංගමයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ, “යුරෝපා සංගමය අහෝසි කළ යුතු අතර සාමාජික රටවල් වෙත ස්වෛරීත්වය ආපසු ලබා දිය යුතුයි.” යනුවෙන්.
ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් ද මෙම දඩය අමෙරිකානු තාක්ෂණික සමාගම්වලට එල්ල කළ මරු පහරක් ලෙස විවේචනය කර තිබේ.