Latest News

පුටින් ඉන්දියාවට ඇවිත් පදින වාහනය බොහෝ දෙනාගේ කතාබහට ලක්ව වෙයි

Published 21 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර හතරකට පසු ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා අද (4) දිනයේ පැමිණෙන අතර, ඔහු සමඟ පැමිණෙන දැවැන්ත ආරක්ෂක රථ පෙළේ ඇති ලොවම අවධානය දිනාගත් විශේෂිත රථය බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ.

ලොව දැඩිම ආරක්ෂාවක් සහිත නායකයෙකු ලෙස සැලකෙන පුටින්ගේ ගමන් බිමන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම ‘Aurus Senat’ රථය, ඇවිදින බලකොටුවක් ලෙස හැඳින්විය හැකි අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීම ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා පුටින් සහභාගී වීමට නියමිතව ඇත්තේ මෙම අධි ආරක්ෂිත රථයෙනි.

මින් පෙර රුසියානු රාජ්‍ය නායකයන් Mercedes-Benz S 600 Guard Pullman වැනි විදෙස් රථ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා භාවිතා කළද, දේශීය නිෂ්පාදනයක් වන Aurus Senat රථය භාවිතයට ගැනීමත් සමඟ එය “රුසියානු රෝල්ස් රොයිස්” (Russian Rolls-Royce) ලෙස ලොව පුරා ප්‍රචලිත විය. ‘Kortezh’ ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන්ම රුසියාවේම නිෂ්පාදනය කරන ලද මෙම ලිමොසින් රථය, 2018 වසරේ පුටින්ගේ පදවි ප්‍රාප්තියේදී ප්‍රථම වරට කරලියට පැමිණි අතර, මෑතකදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙතද මෙවැනි රථයක් ත්‍යාග ලෙස ලබා දීම විශේෂ සිදුවීමක් විය.

මෙම රථය සරල ප්‍රහාරවලට පමණක් නොව, බරපතල යුධමය තත්වයන්ට පවා ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර තිබීම මෙහි ඇති සුවිශේෂීත්වය වන අතර එහි සවිකර ඇති අධි තාක්ෂණික ආරක්ෂක පද්ධති ඉතා රහසිගත වේ.

ස්නයිපර් උණ්ඩ, බර අවි සහ සන්නාහ විදින උණ්ඩවලට පවා ඔරොත්තු දෙන ශක්තිමත් ආවරණයකින් මෙය සමන්විත වන අතර, ඩ්‍රෝන ප්‍රහාරවලට සහ බෝම්බ පිපිරීම්වලට මුහුණ දීමේ හැකියාවද මේ සතුය. හදිසි අවස්ථාවකදී ජලයට වැටුණහොත් කිමිදෙන සබ්මැරීනයක් මෙන් ජලය මතුපිට පාවී යාමේ හැකියාවත්, රසායනික වායු ප්‍රහාරයකදී පිටත වාතය ඇතුළට නොගෙන ක්‍රියාත්මක වන ස්වාධීන ඔක්සිජන් පද්ධතියක් මෙන්ම ටයර්වලට හානි සිදුවුවද අධික වේගයෙන් ධාවනය කළ හැකි තාක්ෂණයක්ද මෙම රථය සතු වේ.

ලීටර් 4.4 ක Twin-turbo V8 හයිබ්‍රිඩ් එන්ජිමකින් බල ගැන්වෙන මෙම රථයට තත්පර 6 ත් 9 ත් අතර කාලයකදී පැයට කිලෝමීටර් 100 ක වේගයක් ලබා ගත හැකි අතර, එහි ඇතුළත ඉතා සුඛෝපභෝගී අන්දමින් නිමවා ඇත.

සාමාන්‍ය Aurus Senat රථයක් රූබල් මිලියන 18 ක් (ඉන්දීය රුපියල් කෝටි 2.5 ක් පමණ) වුවද, පුටින් භාවිතා කරන ජනාධිපතිවරයාටම ආවේණික වූ රථය එහි ඇති රහසිගත ආරක්ෂක උපාංග හේතුවෙන් ඊට වඩා දෙගුණයක් පමණ මිලෙන් අධික බව වාර්තා වේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සමුළුව (SCO) අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද පුටින් සමඟ මෙම රථයේ ගමන් කර ඇති බව වාර්තා වේ.

එහිදී පුටින් විසින් මෝදි පැමිණෙන තුරු විනාඩි දහයක පමණ කාලයක් බලා සිට ඇති අතර, පසුව නායකයන් දෙපළ විනාඩි 60 ක පමණ කාලයක් රථය තුළ ගමන් කරන අතරතුර ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වී තිබේ.

World News

Send your contact Details Today