බන්ධනාගාරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පසුවන බව ඔහුගේ සොහොයුරිය උස්මා කානුම් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිටපු අගමැතිවරයා මුණගැසීමට ඔහුගේ සොහොයුරියට රාවල්පිණ්ඩි නුවර බන්ධනාගාරයේ බලධාරීන් විසින් පෙරේදා මිනිත්තු 20ක කාලසීමාවක් සඳහා අවසර දුන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉම්රාන්ගේ සහ සොහොයුරියගේ හමුව බන්ධනාගාර බලධාරීන් විසින් ඉතා සමීපව නිරීක්ෂණය කර ඇතැයි ද, ඇයට ජංගම දුරකතන රැගෙන යෑමට අවසර ලැබි නැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සිය සොහොයුරා දැක බලා ගැනීමෙන් පසු බන්ධනාගාරයෙන් පිටතට පැමිණි උස්මා කානුම් ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූවද, දීර්ඝ කාලයක් හුදෙකලාවීම හේතුවෙන් ඔහු දැඩි මානසික ආතතියකින් පෙළෙන බවය.
වෛද්‍යවරියක ද වන ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඔහු මානසික වශයෙන් පීඩාවට පත් කිරීම ශාරිරීක හිංසනයට වඩා බරපතළ බවය.
වසර දෙකකට අධික කාලයක් හුදෙකලා වීමෙන් ඔහු දැඩි කෝපයෙන් යුතුව පසුවන බවත් ඇය සඳහන් කර තිබේ.
ඉම්රාන් ඛාන් ජිවිතක්ෂයට පත්වී ඇතැයි පසුගිය සතියේ අන්තර්ජාලයේ පුවත් පැතිරී ගිය අතර, සිය පියා පිළිබඳ සති තුනකින් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවට ලන්ඩනයේ සිටින ඔහුගේ පුතුන් දෙදෙනා මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
සිය පියා හමුවීමට පවුලේ සාමාජිකයන්ට අවසර නොදීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැඩි භීතියකින් පසුවන බව ඔහුගේ බාල පුත්‍රයා වන කාසිම් ඛාන් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබිණි.