ලැබෙන සෑම චරිතයකටම ජීවයක් ලබා දෙමින් ප්‍රේක්ෂක හදවත් තුළ පැලපදියම් වන්නට සමත් වන ඔහු නමින් අකලංක ප්‍රභාෂ්වර. මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘රට පවුල’ ටෙලි නාට්‍යයේ ධනුකගේ චරිතය රඟදක්වමින් ප්‍රේක්ෂකාදරය උපරිමයෙන් දිනාගත් ඔහු සමගයි අද අපේ මේ කතා බහ.
රංගන ජීවිතයේ ආරම්භය ගැනම කියල කතාව අරඹමු?
රංගන ජීවිතය ආරම්භ වුණේ උසස් පෙළ කාලයේමයි. චාමික හත්ලහවත්ත තමයි මගේ ගුරුවරයා. එයා සාමාන්‍ය පෙළට සහ උසස් පෙළට නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්නුවා. සර් එක්ක තමයි පටන් ගන්නේ මගේ රඟපෑම. පාසල් නාට්‍යවලින් තමයි රඟපෑම ආරම්භ වුණේ. වෘත්තීය රංගනය ආරම්භ වෙන්නේ 2011 අවුරුද්දෙ දඟයා සහ පුංචි අන්දරේ කියන වේදිකා නාට්‍යයෙන්.
රට පවුල ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයා අතර ඔබ ජනප්‍රිය වෙලා. කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
රට පවුල ටෙලි නාට්‍යය ගැන සතුටුයි. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. ටෙලි නාට්‍යයත් ඉතින් කූල් එකේ ගලාගෙන යනවා. හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් ලෙස මම දකින්නෙ. ඒක ප්‍රේක්ෂකයන් අතරට ගියා අපි හිතපු නැති විදිහට. ඒකත් එක්ක හැම තැනින්ම හොඳ ප්‍රතිචාර තමයි හම්බ වෙන්නේ.
ධනුකගේ චරිතය ඔබට දැනෙන්නේ කොහොමද?
ධනුකගේ චරිතය ඇත්තටම ඒක හරි සාමාන්‍ය චරිතයක්. පොළොවේ අපට නිතර දෙවේලේ හමුවෙන චරිතයක්. ග්‍රාමීය තත්ත්වයත් එක්ක එයාලගේ බුද්ධිය වැඩ කරන විදිහ ඒ දේවල් එක්ක ඒ චරිතේ හැම වෙලාවෙම අපිට එදිනෙදා මුණගැහෙන චරිතයක්. එතකොට ඉතින් ඒ චරිතය පොඩි සමීපකමක් තියෙනවා.
රට පවුල ටෙලි නාට්‍යයේ අධ්යක්ෂවරයාගෙන් සහ රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන දායකත්වය කොහොමද?
අධ්යක්ෂවරයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. එයා තමයි හැමතිස්සෙම අපිට අඩු වැඩි වෙන්න ඕනි තැන් ටික කියන්නේ. එයා හැම වෙලාවෙම මැදිහත් වෙන්නේ නැති වුණත් එයාගේ මැදිහත් වීම හරිම වෙලාවෙදි අවශ්‍ය වෙලාවෙදී කරනවා. අපිට නිදහසේ වැඩේ කරගෙන යන්න දෙනවා. හැම අධ්‍යක්ෂවරයෙක්ම එහෙම නෙවෙයිනේ. එයාගෙ අධ්යක්ෂණ මාදිලිය වෙනස්. රංගන ශිල්පීන්ගේ දායකත්වය ගත්තොත් ජයනි සේනානායක වගේ සනත් විමලසිරි වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟින් වගේම ප්‍රශා මිෂෙල් වැනි අලුත් පරපුරේ රංගන ශිල්පීන් එක්ක එකට වැඩ කරනකොට මට දැනෙන දේ ඉතින් ඇත්තටම මරු.
ඒ කියන්නේ හැම වෙලාවෙම balance එකක් තියෙනවා. මොකද ප්‍රවීණයන් එක්ක වැඩ කරද්දි නිදහස තියෙනවා වගේම යම්කිසි ගෞරවයක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක හැදෙන bond එක ව්‍යාජ නැති එකක්. ඉතින් ඒක සමහර විට ඒ දර්ශනවල දී පේනවා.
ඔබට අභියෝගයක් වුණු චරිත මොනවාද? ඒවාට ඔබ සූදානම් වුණේ කොහොමද?
මම රඟපාන්න කැමතියි. ඒ නිසා ඒක මම ලොකුවට අභියෝගයක් කර ගන්නේ නැහැ. නමුත් අනිවාර්යෙන්ම සූදානමක් තියෙනවා යම්කිසි විදිහකට. පිටපතේ ගොඩනගල තියෙන චරිතයේ ඉතිහාසය, චරිතයේ මානුෂීය සම්බන්ධතා වගේ දේවල් මම පොඩ්ඩක් බලනවා. ඒවත් එක්ක යම්කිසි style එකක් හදා ගන්න උත්සාහ කරනවා හැම වෙලාවෙම. ඒ කියන්නේ පිටපත අභිභවා නොයන පිටපතක් එක්කම හැම තිස්සෙම ජීවත් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ.
මෙතෙක් රඟපෑ චරිත අතරින් හදවතට දැනුණු චරිතය මොකක්ද?
එහෙම හදවතටම දැනුණු චරිතයක් කියල එකක් නෑ ඉතින්. හැම චරිතයක්ම රඟපාන කොට යම්කිසි විදිහකට යම්කිසි වෙලාවල්වලදී touch වෙනවා. මට කියන්න බෑ හැමතිස්සෙම ඒ මමයි කියලා. ඒක පොඩි තාක්ෂණික ශිල්පීය ක්‍රමයක්. ඉතින් හැම චරිතයක්ම යම්කිසි මොහොතක යම්කිසි වෙලාවක හදවතට දැනිලා තියෙනවා.
ඉදිරියේ දී ඔබ රඟපෑමට ආසාවෙන් ඉන්න චරිත මොනවාද?
ආසයි කියලා එකක් නැහැ. චරිත කියන්නේ චරිත. අපිට තියෙන පිටපත්වල යම්කිසි දෙයක් කරන්න තියෙන චරිත සහ flat පිටපත් තියෙනවනේ. මම මෙතෙක් කාලයකට නොදැකපු විදිහේ හැඩ ගැසීමක්, ජීවිතයක් තියෙන, හොඳට ලියවුණු චරිතයක් දැක්කොත් ඒකට මම කැමති වෙනවා.
ටෙලි නාට්‍යවලට අමතරව ඔබ මේ දිනවල කරන අලුත් වැඩ ගැනත් කියමුද?
මම කොළඹ හතේ තොරණ කියන අලුත් වේදිකා නාට්‍යයත් එක්ක වැඩ කරනවා මේ දවස්වල. ඊට අමතරව අපේ ලංකාවේ පළවෙනි වතාවට improve comedy show එකක් කරනවා ට්‍රැක්ද කියලා. මේ දවස්වල ඒකෙ වැඩත් යනවා. අපි shows කීපයක් කළා. ඊට අමතරව අටවන බුවනෙක වේදිකා නාට්‍යයේ වැඩත් කරනවා.
ඔබේ පවුලේ විස්තර සහ ඔබේ රංගන ජීවිතයට ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි. ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලගේ සහයෝගය නැත්තම් ඉතින් මෙච්චර දුරකට එන්න බෑ මට.
ඉදිරියේ දී කරන්න බලාපොරොත්තු වන අලුත් වැඩ ගැනත් කියමුද?
ඉදිරියේ දී චිත්‍රපට කීපයකට සම්බන්ධ වෙන්න ඉන්නවා. චිත්‍රපට කීපයකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඒවත් එක්ක කාර්යබහුල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ටෙලි නාට්‍යයකත් අලුතින් වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒවත් එක්ක මගේ විවේක බුද්ධියත් කළමනාකරණය කරගෙන ඉදිරියට යනවා.
ක්ෂේත්රයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින නවක රංගන ශිල්පීන්ට ඔබට කියන්න තියෙන පණිවිඩය…
ක්ෂේත්රයට පැමිණෙන්න ඉන්න අයට ඔයා මේවා කරන්න මෙහෙම කරන්න වගේ දේවල් කියනවා වෙනුවට මම කැමතියි කියන්න ඇත්තටම හැම දෙයක් ගැනම අත්හදා බලන්න ඕන කියල. ඒක තමන්ට ගැළපෙනවද නැද්ද කියල එතකොට තමයි තේරෙන්නේ. ඒක කරනවද නැද්ද කියන එක තමන්ගේ ජීවිතයේ දෙයක්. තමන්ට කැමති නම් උත්සාහ කරලා බලන්න. Try everything. ඒක තමයි මට කියන්න තියෙන්නේ.