Latest News

දකුණු ආසියාවටම තර්ජනය කරන දුර්ලභ කුණාටු තුනේ විස්තරේ මෙන්න

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ආසියාව පුරා සුළි කුණාටු තුනක දුර්ලභ පොකුරක් නිර්මාණය වීම හේතුවෙන් මේ වනවිට රටවල් කිහිපයක ධාරානිපාත වර්ෂා සහ මහා ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.

කාලගුණ චන්ද්‍රිකා දත්ත මගින් පෙන්නුම් කරන්නේ මෙම සුළි කුණාටු තුනේ පොකුර යම් රටාවකට නිර්මාණය වී ඇති බවයි.

මෙම සුළි කුණාටු ත්‍රිත්වය දිට්වා (Ditwah), සෙන්යාර් (Senyar) සහ කෝටෝ (Koto) ලෙසින් නම් වනවා.

බෙංගාල බොක්ක, මලක්කා සමුද්‍ර සන්ධිය සහ දකුණු චීන මුහුද මත මෙම සුළි කුණාටු එකවර නිර්මාණය වීම විශේෂත්වයක්.

එංගලන්තයේ රීඩින් විශ්ව විද්‍යාලයේ කාලගුණ විද්‍යාඥ ආචාර්ය අක්ෂේ දියෝරාස් පැහැදිලි කර ඇත්තේ, දිට්වා, සෙන්යාර් සහ කෝටෝ යන කුණාටු එකවර ඇතිවීම අසාමාන්‍ය ලෙස පෙනුණද, බෙංගාල බොක්ක සහ බටහිර උතුරු පැසිෆික් කලාපයට මෙම කාලසීමාවේදී ඒවා ඇතිවීම පෙර නොවූ විරූ තත්ත්වයක් නොවන බවයි.

කෙසේ වෙතත්, මෙම පොකුර කැපී පෙනෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රබල කුණාටු ඇති කිරීමට අපේක්ෂා නොකරන තත්වයන් යටතේ පද්ධති තුනම නිර්මාණය වීම නිසා බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ආචාර්ය දියෝරාස් අවධාරණය කරන්නේ කුණාටු ඇතිවීම නිතර සිදු නොවුනත්, දේශගුණික විපර්යාස හේතුවෙන් උණුසුම් වූ සාගර මගින් ඒවා වඩාත් ප්‍රබල වීමේ අවස්ථා එන්න එන්නම වැඩිකරන බවයි.

මේ වන විට ප්‍රධාන අන්තරාය පවතින්නේ අධික වර්ෂාපතනය සහ ගංවතුර තත්ත්වයන්ගෙන් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

නිරිතදිග බෙංගාල බොක්කෙහි පවතින දිට්වා සුළි කුණාටුව නොවැම්බර් 30 වන විට දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

කෙසේ වෙතත්, දිට්වා විසින් ගෙන එන ගිගුරුම් සහිත වැසි නොවැම්බර් 30 දින දකුණු ඉන්දියාව දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යාඥයන් සඳහන් කළේය.

දකුණු චීන මුහුදේ පවතින කෝටෝ සුළි කුණාටුව දුර්වල වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

එය දෙසැම්බර් 3 වනදා පමණ වියට්නාමය පසු කිරීමෙන් පසු තීව්‍රතාවය අඩු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

මැලේසියාව සහ ඉන්දුනීසියාව අතර සිරවී ඇති සෙන්යාර් සුළි කුණාටුව දැනටමත් විසුරුවා හැර ඇති බව සඳහන්.

එසේ වුවද, එය තවමත් එම කලාපයේ දැඩි ගිගුරුම් සහිත වැසි ජනනය කරමින් පවතියි.

මෙම දුර්ලභ නිවර්තන සුළි කුණාටු පොකුර ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ වියට්නාමය වෙත දැඩි මෝසම් ගිගුරුම් සහිත වැසි ගෙනැවිත් තිබේ.

මෙම කුණාටු ත්‍රිත්වය, දරුණු ගංවතුර, නායයෑම් සහ ගංගා පිටාර ගැලීමට හේතු වී තිබෙන අතර මේ හේතුවෙන් රටවල් හරහා විශාල පිරිසක් මිය ගොස් ඇති අතර තවත් මිලියන ගණනක් ජනතාවට තම නිවෙස් අත්හැර යාමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

චන්ද්‍රිකා, රේඩාර් සහ භූමි මිනුම් ඒකාබද්ධ කිරීමෙන් ගණනය කරන ලද දත්තවලට අනුව කුණාටු බලපාන බොහෝ ප්‍රදේශවලට පැයකට මිලිමීටර් 53-100 ට වඩා වැඩි අධික වර්ෂාපතන අගයන් පෙන්නුම් කරයි.

දරුණුතම බලපෑමට ලක් වූ සමහර ස්ථාන, විශේෂයෙන් ශ්‍රී ලංකාව, පසුගිය පැය 48 තුළ පැයකට මිලිමීටර් 300 කට වඩා වැඩි වර්ෂාපතනයක් අත්විඳ තිබුණේය.

මේ වනවිට මෙරට තුළ මරණ 123ක් වාර්තා වී තිබෙන අතර ලක්ෂ ගණනක් පීඩාවට පත්ව සිටියි.

World News

Send your contact Details Today