ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති ‘දිට්වා’ (Ditwah) සුළිකුණාටුව මඩකලපුව සිට 60km ක් දකුණු දෙසින්, කේන්ද්‍ර ගතව වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද (28) අලුයම වනවිට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහි අගය මි.මී. 315ක්.
මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයෙන් මි.මී. 305ක අගයක් වාර්තා වී තිබේ.
එමෙන්ම තෙවන ඉහළම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවරින් වාර්තා වී ඇති අතර, එහි අගය මී.මී. 223.9ක් ලෙස සටහන් වී ඇත.
ඒ අනුව දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වියහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැ.කි.මී. 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට පැ.කි.මී. 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළංද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.