ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ (පස්වරු 02.00) සඳහන් වේ.
ඒ අනුව, එය මේ වන විට මඩකලපුව සිට කි.මී. 120ක් ගිනිකොණ දෙසින්, ආසන්න වශයෙන් 6.7°N අක්ෂාංශයේ සහ 82.1°E දේශාංශයේ කේන්ද්‍රගතව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර, ඉදිරි පැය 12 තුළදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි එම වාර්තාවේ සඳහන්.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි අතර, උතුරු පළාත, උතුරු-මැද පළාත, මධ්‍යම පළාත, වයඹ පළාත සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා මි.මී. 200ට වැඩි ‘ඉතා තද වැසි’ ඇතිවිය හැකියි.
එමෙන්ම, මි.මී. 150 ට වැඩි ‘ඉතා තද වැසි’ සබරගමුව පළාත, බස්නාහිර පළාත, බදුල්ල දිස්ත්‍රික්කය සහ මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා ඇතිවිය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සාමාන්‍ය සුළං වේගය පැ.කි.මී. 60-70 දක්වාත්, ටින් විට පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන්.