ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එය අද (24) සිට බලපැවැත්වෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසිය.
ඉතාලි රාජ්‍යයට හඳුනා ගත හැකි පරිදි මෙරටින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමෙන් අදාළ තාක්ෂණික දෝෂ මඟ හරවා ගෙන ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කළ හැකි බවත් සඳහන් කළේය.
2022 වසරේ සිට මේ දක්වා ඉතාලියේ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ක්‍රියාත්මක කර නොමැති අතර ඔහු පෙන්වා දුන්නේ, හිටපු තානාපතිවරු නිසා ඇති වූ ගැටලුවක ප්‍රතිඵලයක් ලෙස ඉතාලි රියදුරු බලපත්‍ර 2022 වසරෙන් පසුව මේ වන තෙක් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට නොලැබුණු බවයි.
2011දී ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර ඇති කරගත් ගිවිසුමක් ප්‍රකාරව ඉතාලියේ ස්ථිර පදිංචිය ලබාගැනීමට පෙර ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රයක් හිමි කරගෙන තිබූ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට එම රියැදුරු බලපත්‍රය ඉතාලියට බලපැවැත්වෙන ආකාරයෙන් පරිවර්තනය ගැනීමට පහසුකම් ලබා දී තිබිණි.
වරින්වර රජයන් විසින් අලුත් කරනු ලබන මෙම ගිවිසුම අනුව ඉහත සුදුසුකම් ලබා තිබූ ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියෙන් නැවත ඉතාලි රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නොවිණි.
2016 වසරේදී මෙම ගිවිසුම අලුත් කිරීම වාර්තා කර ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, මෙම ගිවිසුමෙන් ඒ වන විට වසරකට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 11,000ක් පමණ ප්‍රතිලාභ ලැබූ බව ය.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වලංගු ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රයක් හිමි, ඉතාලියේ ස්ථිර පදිංචිය තහවුරු කළ හැකි සහ ස්ථිර පදිංචිය ලබා වසර හතරක් නොඉක්මවූ පිරිස් මෙලෙස රියැදුරු බලපත්‍රය පරිවර්තනය කරවා ගැනීම සඳහා සුදුසුකම් ලබති.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
මේ අතර පාසල් වෑන් රථ සඳහා සී.සී.ටී.වී. පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ප්‍රවාහනය තුළ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිරිහැර වැඩි වී ඇති බවත් ඉදිරියේ දී එය අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.
පාසල් ප්‍රවාහන සේවා සඳහා සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා ද එළඹෙන ජනවාරි මාසයේ සිට මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ද කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.