Latest News

ටයිටැනික් මගියෙකුගේ සාක්කු ඔරලෝසුව වාර්තාගත මිලකට වෙන්දේසි කරයි

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ ගමන් ගත් ධනවත්ම මගියෙකු සතුව තිබූ රන් සාක්කු ඔරලෝසුවක් වෙන්දේසියකදී පවුම් මිලියන 1.78ක (රුපියල් කෝටි 65කට ආසන්න) වාර්තාගත මුදලකට අලෙවි වී තිබේ.

අමෙරිකානු ව්‍යාපාරිකයෙකු මෙන්ම නිව්යෝක් හි මේසීස් (Macy’s) දෙපාර්තමේන්තු වෙළඳසැලේ සම හිමිකරුවෙකු වූ ඉසිඩෝර් ස්ට්‍රවුස්ගේ සිරුරේ තිබී මෙම ඔරලෝසුව හමුවී ඇති අතර, 1912 වසරේ අප්‍රේල් 14 වන දින අයිස් කන්දක ගැටී නෞකාව මුහුදුබත් වීමෙන් මියගිය 1,500කට අධික පිරිස අතර ඔහු සහ ඔහුගේ බිරිඳ වන අයිඩා ද සිටියහ.

ජූල්ස් ජර්ගන්සන් (Jules Jurgensen) සන්නාමයට අයත් කැරට් 18 රත්රන් ඔරලෝසුව ටයිටැනික් නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදුබත් වූ වේලාව ලෙස සැලකෙන අලුයම 02:20ට නතර වී තිබීම විශේෂ සිදුවීමකි.

විල්ට්ෂයර් හි හෙන්රි ඇල්ඩ්‍රිජ් සහ පුත්‍රයෝ වෙන්දේසි ආයතනය විසින් ඉකුත් සෙනසුරාදා මෙම වෙන්දේසිය සිදු කළ අතර, මීට පෙර ටයිටැනික් හා සම්බන්ධ වස්තුවක් සඳහා ලැබී තිබූ ඉහළම ලංසුව ලෙස සැලකෙන කාපේතියා නෞකාවේ කපිතාන්වරයාට තිළිණ කළ ඔරලෝසුව අලෙවි වූ පවුම් මිලියන 1.56ක වාර්තාව මෙය විසින් බිඳ දමන ලදී.

අනතුර සිදුවූ දින රාත්‍රියේ ස්ට්‍රවුස් මහත්මියට ජීවිතාරක්ෂක බෝට්ටුවක ඉඩක් ලැබුණද, තම සැමියා හැර යාම ප්‍රතික්ෂේප කළ ඇය ඔහු සමඟ මියයාමට තීරණය කර ඇති බව පැවසෙන අතර, අනතුරින් දින කිහිපයකට පසු ස්ට්‍රවුස් මහතාගේ සිරුර අත්ලාන්තික් සාගරයෙන් සොයා ගත්තද අයිඩාගේ සිරුර කිසි දිනෙක හමු නොවීය.

මෙම ඔරලෝසුව 1888 වසරේදී අයිඩා ස්ට්‍රවුස් විසින් තම සැමියාගේ 43 වන උපන්දිනය වෙනුවෙන් තෑගි කළ එකක් බවත්, එහි ස්ට්‍රවුස්ගේ නම කොටා ඇති බවත් විශ්වාස කෙරේ.

පරම්පරා ගණනාවක් පුරා ස්ට්‍රවුස් පවුල සතුව සුරක්ෂිතව තිබූ මෙම ඔරලෝසුව පසුකාලීනව ඉසිඩෝර්ගේ මුනුපුරෙකු විසින් අලුත්වැඩියා කර සංරක්ෂණය කර තිබේ. මෙම වෙන්දේසියේදී ටයිටැනික් නෞකාවට සම්බන්ධ තවත් භාණ්ඩ කිහිපයක්ම අලෙවි වූ අතර, අයිඩා ස්ට්‍රවුස් විසින් ලියන ලද ලිපියක් පවුම් 100,000කටත්, මගී ලැයිස්තුවක් පවුම් 104,000කටත් අලෙවි වී ඇති බව වාර්තා වේ.

වෙන්දේසි ආයතනය පවසන පරිදි වසර 41ක් පුරා පැවති ස්ට්‍රවුස් යුවළගේ ආදර කතාව සහ ඔවුන්ගේ වියෝව පිළිබඳ ලෝකයා තුළ පවතින ගෞරවය මෙම වාර්තාගත මිල මගින් පිළිබිඹු වේ.

World News

Send your contact Details Today