දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට (24) දින වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනු ලබන්නේ.
ඒ අනුව මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බව කාලගුණ නිවේදනයේ සඳහන්.
මුහුදු ප්‍රදේශ වල, ඉදිරි දිනවලදී ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (70-75) දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙයි.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත්වන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.
ධීවර සහ නාවික ප්‍රජාවන්, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ අතර ශ්‍රී ලංකාව වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ විය හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා ඉහළ යා හැක.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට මද වශයෙන් රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.