රුසියානු හමුදා නෞකාවක් බ්‍රිතාන්‍ය මුහුදු තීරයට ඇතුළු වී එක්සත් රාජධානියේ ගුවන් නියමුවන්ට ලේසර් එල්ල කිරීමෙන් පසු, එංගලන්ත රජය රුසියාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
බ්‍රිතාන්‍ය චෝදනා කරන්නේ මෙම නෞකාව රුසියාවේ ඔත්තු බලන යාත්‍රාවක් බවයි.
ආරක්ෂක ලේකම් ජෝන් හීලි ලන්ඩනයේදී වාර්තාකරුවන්ට පැවසුවේ, මෙම රුසියානු නෞකාව මෙම වසරේ දෙවන වරටත් එක්සත් රාජධානියේ ජල තීරයට ඇතුළු වී ඇති බවයි. ඊට පෙර, ජනවාරි මාසයේදී ද මෙවැනිම ආක්‍රමණයක් සිදුව තිබුණේය.
ඔහු කියා සිටියේ, Yantar නෞකාව ස්කොට්ලන්තයට උතුරින් එක්සත් රාජධානියේ පුළුල් ජල තීරයට ඇතුළු වී ඇති අතර, එය දැනට එක්සත් රාජධානියේ ජල තීරයේ මායිමේ පවතින බවයි.
මෙම නෞකාවේ සෑම චලනයක්ම නිරීක්ෂණය කිරීමට සහ ලුහුබැඳීමට බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ (RAF) Poseidon-8 හමුදා ගුවන් යානයක් යොදවා ඇති බව හීලි කියාසිටියා. එම ගුවන් යානයේ ගුවන් නියමුවන් ඉලක්ක කර ගනිමින් ලේසර් එල්ල කර ඇත්තේ එම නිරීක්ෂණ කටයුතු අතරතුරදීයි.
නිරීක්ෂණ කටයුතු අතරතුරදී, Yantar නෞකාව බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන්ට ලේසර් එල්ල කර තිබීම ඉතා භයානක බවට හඳුන්වමින් එය දැඩි ලෙස විවේචනය කර තිබෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ.
ආරක්ෂක ලේකම් ජෝන් හීලි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත සෘජු පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඒ “අපි ඔබ දිහා බලන් ඉන්නේ. ඔබ කරන්නේ මොකක්ද කියලා අපි දන්නවා. Yantar මේ සතියේ දකුණට ගමන් කළහොත්, අපි සූදානම්” යන්නයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ Yantar නෞකාව, “අපගේ සහ අපගේ මිත්‍ර පාක්ෂිකයන්ගේ දිය යට යටිතල පහසුකම් අවදානමට ලක් කිරීමට සහ රඳවා ගැනීමට සැලසුම් කර ඇති රුසියානු බලඇණියක කොටසක්” බවයි.
මෑත මාසවලදී දිය යට විදුලි සංදේශ සහ විදුලි රැහැන් කිහිපයකට හානි කිරීම් සිදුවීමෙන් පසු, මුහුදෙන් ඔබ්බට ඇති යටිතල පහසුකම්වලට රුසියාව එල්ල කරන අවදානම පිළිබඳව බ්‍රිතාන්‍යය සහ නේටෝ මිත්‍ර පාක්ෂිකයෝ අවධානයෙන් සිටියි.
යුක්‍රේනය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම ගැටෙන විට, බටහිරට එරෙහිව හයිබ්‍රිඩ් යුද්ධයක් ඇති කිරීම ගැන විශේෂඥයන් සහ දේශපාලඥයන් රුසියාවට චෝදනා කරනවා.
මෙම නෞකාව නිර්මාණය කර ඇත්තේ බුද්ධි තොරතුරු රැස් කිරීමට සහ බ්‍රිතාන්‍යයේ දිය යට කේබල් සිතියම්ගත කිරීමට බවයි බ්‍රිතාන්‍ය පවසන්නේ.
රුසියාවේ රහස්‍ය ගැඹුරු මුහුදු පර්යේෂණ ඒකකයක් වන GUGI හි කොටසක් ලෙස මෙම නෞකාව කටයුතු කරන බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍ය හමුදා ගුවන් යානා ඉලක්ක කර ගනිමින් රුසියාව ලේසර් එල්ල කළ පළමු අවස්ථාව මෙය බව ද ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුණේය.
ලන්ඩනයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය කියා සිටියේ Yantar යනු ජාත්‍යන්තර ජල තීරයේ ක්‍රියාත්මක වන “සාගර විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක්” බවයි.
ඔවුන් බ්‍රිතාන්‍යයේ දිය යට සන්නිවේදනයන් ඉලක්ක කර ගැනීම හෝ එහි ආරක්ෂාවට හානි කිරීම ප්‍රතික්ෂේප කරයි.
තානාපති කාර්යාලය තවදුරටත් චෝදනා කළේ, ලන්ඩනයේ රුසියානුවන්ට විරුද්ධ ප්‍රතිපත්තිය සහ මිලිටරි උන්මාදය අවුලුවාලීම යුරෝපීය ආරක්ෂාව තවදුරටත් පිරිහීමට දායක වන අතර, නව භයානක තත්ත්වයන් සඳහා කොන්දේසි නිර්මාණය කරන බවයි.