Latest News

මාලි රාජ්‍යයේ සිටින ප්‍රංශ පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රංශය විසින් සිය පුරවැසියන්ට හැකි ඉක්මනින් මාලි රාජ්‍යයෙන් තාවකාලිකව පිටවන ලෙස ඉල්ලා තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ අල්-කයිඩාවට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පනවා ඇති අවහිරය තීව්‍ර වීමත්, ආරක්ෂක තත්ත්වය වේගයෙන් පිරිහීමත් හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇති බවයි.

ප්‍රංශ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මාලි රාජ්‍යයේ, අගනුවර වන බමාකෝ හි පවා ආරක්ෂක තත්ත්වය සති කිහිපයක් තිස්සේ නරක අතට හැරෙමින් පවතින බවයි.

ප්‍රංශ ජාතිකයන්ට තවමත් ලබා ගත හැකි වාණිජ ගුවන්ගමන් මගින් හැකි ඉක්මනින් මාලි රාජ්‍යයෙන් තාවකාලිකව පිටව යාමට සැලසුම් කරන ලෙස උපදෙස් දී තිබේ.

ගොඩබිම මාර්ගවලින් ගමන් කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවත්, ප්‍රධාන ජාතික මාර්ග දැනට ත්‍රස්තවාදී කණ්ඩායම්වල ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.

ප්‍රංශය නිකුත් කළ නිවේදනයට පෙර, මාලි හි පිරිහෙමින් පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ද පසුගිය සතියේ සිය ‘අත්‍යවශ්‍ය නොවන’ පිරිස් සහ ඔවුන්ගේ පවුල් ඉවත් කරන බව නිවේදනය කර තිබුණේය.

ඉන්ධන සීමා කිරීම සහ ආරක්ෂාව පිරිහීම උපුටා දක්වමින් ජිනීවා පදනම් කරගත් නැව් සමාගමක් වන MSC ද මාලි රාජ්‍යයේ සිය මෙහෙයුම් අත්හිටුවන බව ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර වශයෙන් JNIM ලෙස හඳුන්වනු ලබන අල්-කයිඩා-සම්බන්ධ මුස්ලිම් සහ ඉස්ලාම් සහයෝගීතා කණ්ඩායම සැප්තැම්බර් මාසයේ සිට ඉන්ධන ප්‍රවාහනය කරන ටැංකි ඉලක්ක කර තිබේ,

මෙම ටැංකි මාලි රාජ්‍යයට ආනයනය කරන භාණ්ඩ බහුතරයක් ගමන් කරන සෙනගල් සහ අයිවරි කෝස්ට්වලින් පැමිණෙන ඒවායි.

සති ගණනාවක් තිස්සේ JNIM සටන්කාමීන් විසින් පනවා ඇති මෙම ඉන්ධන අවහිරය රටේ ආර්ථිකය අඩපණ කර තිබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් රජයට පාසල් වසා දැමීමට බල කෙරෙයි.

කලාප කිහිපයක අස්වනු නෙළීමට නොහැකි වී ඇති අතර විදුලි සැපයුම් දී සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.

අල්-කයිඩාවට සම්බන්ධ මෙම සන්නද්ධ කණ්ඩායම දිගු කලක් තිස්සේ රටේ අනෙකුත් ප්‍රදේශවල නගර වටලා සිටියද, අගනුවර වන බමාකෝ සඳහා මෙම උපක්‍රමය භාවිතා කළ පළමු අවස්ථාව මෙයයි.

2020 සහ 2021 දී පිටපිට සිදු වූ කුමන්ත්‍රණවලින් පසු මාලි රාජ්‍යය පාලනය කරනු ලබන්නේ JNIM ඇතුළු විවිධ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සටන් කිරීමට අරගල කරන හමුදා රජයක් විසින්.

ජනාධිපති අසිමි ගොයිටා මේ සතිය මුලදී පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ අනවශ්‍ය ගමන් සීමා කිරීම වැනි තම යුතුකම් ඉටු කරන ලෙසයි.

“ඉන්ධන සැපයීමට හැකි සෑම දෙයක්ම කරන බවට” ඔහු පොරොන්දු විය.

දශකයකට වැඩි කාලයක් තිස්සේ රට පීඩාවට පත් කර ඇති වර්ධනය වන අනාරක්ෂිතභාවය මැඩපැවැත්වීමට පාලක හමුදා රජය පොරොන්දු වී තිබේ.

ඔවුන් ප්‍රංශය ඇතුළු හිටපු බටහිර හමුදා මිත්‍ර පාක්ෂිකයන් සමඟ සබඳතා බිඳ දැමූ අතර, ඒ වෙනුවට සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව සටන් කිරීම සඳහා රුසියානු පැරාමිලිටරි කණ්ඩායම් සමඟ හවුල් වී තිබේ.

JNIM හි ප්‍රධාන අරමුණ වන්නේ භූමිය අල්ලා ගැනීම සහ පාලනය කිරීම මෙන්ම, ඔවුන් පාලනය කරන කලාපයෙන් බටහිර බලපෑම් නෙරපා හැරීමයි.

අර්ධ ශුෂ්ක කාන්තාර තීරුවක් වන සහ උතුරු අප්‍රිකාවේ සිට බටහිර අප්‍රිකාව දක්වා විහිදෙන සාහෙල්කලාපයේ ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් කිහිපයෙන් එකක් වන JNIM, 2017 සිට දහස් ගණනක් මිනිසුන් ඝාතනය කර තිබේ.

World News

Send your contact Details Today