ජෝර්ජියාවේ අගනුවර වන ටිබිලිසිහිදී යුරේනියම් කිලෝග්‍රෑම් 2ක් (රාත්තල් 4.4) මිලදී ගැනීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් චීන පුරවැසියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට රාජ්‍ය ආරක්ෂක සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සැකකරුවන් රුසියාව හරහා චීනයට න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සැලසුම් කළ බව ආරක්ෂක සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි අතර සැකකරුවන් අත්අඩංගුවට ගත් මෙහෙයුමේ වීඩියෝ දර්ශන ද නිකුත් කර තිබුණේය.
ජෝර්ජියාවේ දැනටමත් සිටින චීන පුරවැසියෙකු වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් රැඳී සිට ඇතැයි අනාවරණ කළ බලධාරීන් චෝදනා කර තිබුණේ, ඔහු රට පුරා යුරේනියම් සෙවීම සඳහා විශේෂඥයින් ජෝර්ජියාවට රැගෙනවිත් ඇති බවයි.
අපරාධ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් චීනයේ සිට මෙහෙයුම සම්බන්ධීකරණය කළ බව එම බලධාරීන් පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර අදාළ නීති විරෝධී ගනුදෙනුවේ විස්තර සාකච්ඡා කරමින් අපරාධකරුවන් හඳුනාගෙන රඳවා තබා ගත් බව රාජ්‍ය ආරක්ෂක සේවය උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා පවසා තිබේ.
අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ කවදාද යන්න හෝ සැකකරුවන්ගේ අනන්‍යතාව ජෝර්ජියා බලධාරීන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
මේ අතර අදාළ විකිරණශීලී ද්‍රව්‍ය සඳහා ඩොලර් 400,000ක් ගෙවීමට කණ්ඩායමේ සාමාජිකයින් සැලසුම් කර ඇති බවත් බලධාරීන් පැවසූ බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඒ අනුව සැකකරුවන් වසර 10ක් දක්වා සිරගත කළ හැකි චෝදනාවලට මුහුණ දී සිටින බව සඳහන් වේ.
මෑත වසරවලදී ජෝර්ජියාවේ න්‍යෂ්ටික ද්‍රව්‍ය නීති විරෝධී ලෙස වෙළඳාම් කිරීම සම්බන්ධ බරපතල සිදුවීම් කිහිපයක් සිදුවී තිබෙයි.