කොළඹ ඩොක්යාඩ් පී.එල්.සී. සමාගම (Colombo Dockyard PLC) සිය කොටස් හිමියන්ගේ අනුමැතිය ලැබුණු වහාම, රුපියල් බිලියන 12.93ක අයිතිවාසිකම් නිකුතුව ඉදිරියට ගෙන යන බව ඊයේ (15) නිවේදනය කර තිබෙනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කළ ලිපියක් මගින් නෞකා තැනීමේ හා අලුත්වැඩියා කිරීමේ සමාගම සඳහන් කර සිටියේ, මීට පෙර ප්‍රකාශ කළ පරිදි එහි ප්‍රධාන කොටස් හිමිකරුවන ජපානයේ ඔනොමිචි ඩොක්යාඩ් සමාගම (Onomichi Dockyard Company Limited) තවදුරටත් ඉන්දියාවේ මසගෝන් ෂිප්බිල්ඩර්ස් සමාගම (Mazagon Shipbuilders Limited) වෙත තම අයිතිවාසිකම් අත් නොහරින බවයි.
ඒ වෙනුවට, ඔනොමිචි සමාගම සිය අයිතිවාසිකම් ප්‍රමාණයට දායක වීමෙන් වැළකී සිටිනු ඇත.
ඒ හේතුවෙන් ඔනොමිචි සමාගමට හිමිවන සාමාන්‍ය කොටස්, කොටස් හිමියන්ගේ විශේෂ යෝජනාවක් මගින් අනුමැතියට යටත්ව සෘජුවම මසගෝන් ෂිප්බිල්ඩර්ස් සමාගම වෙත වෙන් කරනු ඇති.
ඔනොමිචි සමාගමට හිමිවන සාමාන්‍ය කොටස්, අමතර කොටස් සඳහා ඉල්ලුම් කරන දැනට සිටින කොටස් හිමියන්ට වෙන් නොකරන අතර, මසගෝන් සමාගම සඳහා පමණක් වෙන් කරනු ලබන බවයි සමාගම සඳහන් කර ඇත්තේ.
මෙම සංශෝධිත ක්‍රියා පටිපාටිය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඔක්තෝබර් 01 වැනිදා අනුමත කර තිබෙනවා.
කොළඹ ඩොක්යාඩ් සමාගම, සිය සේවා ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට සහ ද්‍රවශීලතා පීඩන ලිහිල් කිරීමට නව සාමාන්‍ය කොටස් මිලියන 323.4ක්, එක් කොටසක් රුපියල් 40 බැගින් දැනට පවතින සෑම කොටස් 2කටම නව කොටස් 9ක් බැගින් නිකුත් කරන බවට ප්‍රථමයෙන් නිවේදනය කර ඇත්තේ ජූලි මාසයේදීයි.
කෙසේ වෙතත්, එම නිකුතුව නොවැළැක්විය හැකි හේතූන් මත අගෝස්තු මාසයේදී කල් දමා තිබෙනවා.