ශ්‍රී ලංකාවේ ඉදිරියේදී ලබා දීමට අපේක්ෂා කරන නව වාහන අංක තහඩුව ජාත්‍යන්තර ප්‍රමිතීන් 7ක් යටතේ, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව (ISO 7591-1982) ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසුවා.
ඒ අනුව, අංක තහඩු සඳහා භාවිත කරන ද්‍රව්‍යවලට පහත සඳහන් නිශ්චිත ලක්ෂණ තිබිය යුතුයි:
අංක තහඩුවේ ඇලුමිනියම් උපස්ථරය ඒ.එස්.ටී.එම්. බී209 ප්‍රමිතීන්ට හෝ වෙනත් ඊට සමාන ප්‍රමිතියකට අනුකූල විය යුතු ය. ඒ.එස්.ටී.එම්. හැර වෙනත් ආකාරයක ප්‍රමිතියක් අනුගමනය කරන්නේ නම්, ඊට අදාළ සමානතාව සම්බන්ධ ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කළ යුතු ය.
ඇලුමිනියම් උපස්ථරය අවම වශයෙන් 99.0%ක සංශුද්ධතාවකිනුත්, 6%ක බිඳී යාමට පෙර දිගු කිරීමේ හැකියාවකිනුත් සමන්විත විය යුතු ය.
තහඩුවේ ඝනකම: මිලිමීටර් 1.00 (දරා ගැනීමේ හැකියාව: ± මිලිමීටර 0.03)
අංක තහඩුවේ ඇලුමිනියම් උපස්ථරයට අවම වශයෙන් වර්ග මිලිමීටරයක් මත නිව්ටන් 60ක උපරිමයක් තිබිය යුතු ය.
තහඩුවේ ඉදිරිපස ඇනෝඩීකරණය (ආරක්ෂණ ලෝහ පටලයක් ගැල්වීම) හෝ ක්‍රෝමේට් ආලේපනය කිරීම කළ යුතු අතර, එහි ප්‍රතිලෝම පරාවර්තක ස්ථරයක් ද අඩංගු විය යුතු ය. සම්පූර්ණ ස්ථරයේ සහ ආලේපනයේ අවම ඝනකම මයික්‍රෝමීටර 120ක් විය යුතු ය. තහඩුවේ පසුපස ඇනෝඩීකරණය හෝ ක්‍රෝමේට් ආලේපනය කිරීම කළ යුතු අතර, පැහැදිලි එපොක්සයිඩ් ආරක්ෂණ වාර්නිෂ් අලේපනයක් ද තිබිය යුතු ය. සම්පූර්ණ ස්ථරයේ සහ ආලේපනයේ අවම ඝනකම මයික්‍රෝමීටර 4ක් විය යුතුය. වාර්නිෂ් ආලේපනය රසායනික වශයෙන් නිෂ්ක්‍රීය, නම්‍යශීලී හා ආලෝකය විනිවිද යන සහ පහසුවෙන් හැඩය වෙනස් කළ හැකි විය යුතු ය.
නිමි අංක තහඩු, ‘මෝටර් වාහන සඳහා ඇති ප්‍රතිලෝම පරාවර්තක ලියාපදිංචි තහඩු’ සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතිය වන අයි.එස්.ඕ. 7591 (ප්‍රමිතියේ සඳහන් සියලු ම පරාමිතීන්) සමග ද අනුකූල විය යුතු ය.
අයි.එස්.ඕ. 7591 තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට සුදුසුකම් ලබා ඇති ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පරීක්ෂණ සහ සහතික කිරීමේ ආයතනයක් සාම්පලවලට අදාළ අනුමැතිය ලබා දුන් පසු, අංක තහඩුව සඳහා පරීක්ෂණ සහතිකයක්, තෝරා ගත් ලංසුකරු විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.
මීට පෙර අංක තහඩු සැකසීම සිදුකළ ආයතනය විසින් ජනාධිපති කාර්යාලය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව පැවසූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා එම කටයුතු අවසන් වූ වහා ම ප්‍රසම්පාදන කටයුතු අවසන් කර වාහන අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළා.