Latest News

ට්‍රම්ප්ට අවාසි අධිකරණ තීන්දුවක් දුන් විනිසුරුවරියගේ නිවස හදිසියේම ගිනි ගනියි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ දකුණු කැරොලිනා විනිසුරුවරියකගේ ඩොලර් මිලියන 1.5 ක් වටිනා නිවසක් සති අන්තයේදී හටගත් දැවැන්ත ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

එහිදී එඩිස්ටෝ වෙරළ තීරයේ අහස කළු දුමාරයෙන් වැසී ගිය බවත් මෙම සිදුවීමත් සමග ප්‍රදේශවාසීන්ට සිය ජීවිත ආරක්ෂාව සඳහා පලා යාමට සිදු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ගේටඩ් ජෙරමි කේ ප්‍රජාවේ වගුරු බිමකට මායිම්ව පිහිටා තිබූ මෙම නිවස ගිනි නිවන භටයින් විසින් ගින්න පාලනය කිරීමට පෙර අළු වී ගොස් තිබුණා.

මෙම නිවස අයත්ව තිබුණේ වයස අවුරුදු 69 ක් වන අධිකරණ විනිසුරු ඩයන් ගුඩ්ස්ටයින් මහත්මියටයි.

නිහඬ වෙරළබඩ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ ගින්න හටගන්නා අවස්ථාවේදී ඇය සිය සුනඛයන් සමග වෙරළේ ඇවිදිමින් සිට තිබෙනවා.

කෙසේ වෙතත්, එම අවස්ථාවේ නිවසේ රැඳී සිටි ඇගේ සැමියා වන හිටපු ප්‍රාන්ත සෙනෙට් සභික ආර්නෝල්ඩ් ගුඩ්ස්ටයින් සහ ඔවුන්ගේ පුත් දෙවන ආර්නෝල්ඩ් ගුඩ්ස්ටයින් තුවාල ලබා දිවි ගලවා ගෙන තිබෙන බව සඳහන්.

විනිසුරුවරිය මෑතකදී ඉහළ දේශපාලන අවධානයක් යොමු වූ නඩුවක තීන්දුවක් ලබා දීමත් සමග මෙම ගින්න සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විවිධ මත වේගයෙන් පැතිර ගිය නමුත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒ සම්බන්ධයෙන් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

සෙනසුරාදා ගින්න නිවා දමන විට නිවස තිබූ ස්ථානයේ ඉතිරිව තිබුණේ දුම් දමන සුන්බුන් ගොඩක් පමණයි.

එහෙත්, ගින්න හටගත් ආකාරය සහ විනිසුරුවරිය ඉලක්ක කරාද යන්න පිළිබඳ ප්‍රශ්න මතුවෙමින් පවතිනවා.

දකුණු කැරොලිනා මැතිවරණ කොමිසම විසින් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට ඡන්ද දත්ත ලබා දීම වලක්වමින් විනිසුරුවරිය ලබා දුන් ඉහළ පෙළේ තීන්දුවක් හේතුවෙන් මෙම කටකතා තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

කෙසේ වෙතත්, දකුණු කැරොලිනා නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශය (SLED) සඳුදා ප්‍රකාශ කළේ ගින්න හිතාමතා ඇති කළ බවට මූලික සාක්ෂි නොමැති බවයි.

එම අංශයේ ප්‍රධානී මාර්ක් කීල් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින්, “ගින්නට පෙර පිපිරීමක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව අපගේ නිලධාරීන් මූලික වශයෙන් සොයාගෙන ඇත,” ලෙසයි.

ඔක්තෝබර් 4 වන දින උදෑසන 10:40 ට පමණ එඩිස්ටෝ දූපතේ පිහිටි ගුඩ්ස්ටයින් යුවළගේ නිවසේ මෙම ගින්න හටගෙන තිබෙනවා

උස්ව ඉදිකර තිබූ මෙම නිවස වගුරු බිමකින් වටවී තිබීම නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වුණා.

අසල්වැසියන් සහ මුලින්ම එම ස්ථානයට පැමිණි සහන සේවකයින් විස්තර කළේ දුමාරය අහසට නැගෙද්දී අවට පරිසරය ඉතා අවුල් සහගත තත්ත්වයක පැවති බවයි.

ගින්නෙන් බේරීම සඳහා කිහිප දෙනෙකු නිවසේ උස්ව පිහිටි පළමු මහලෙන් පහළට පැන ඇති අතර, ඔවුන්ව වගුරු සහිත පසුපස මිදුලෙන් ඔරු ආධාරයෙන් මුදා ගැනීමට සිදු වූ බව ශාන්ත පෝල් ගිනි නිවන දිස්ත්‍රික්කයේ නිලධාරීහු තහවුරු කර තිබෙනවා.

බරපතල තුවාල ලැබූ විනිසුරුවරියගේ සැමියා දකුණු කැරොලිනා වෛද්‍ය විශ්ව විද්‍යාලයට ගුවනින් රැගෙන ගියා.

විනිසුරු ගුඩ්ස්ටයින් දශක තුනකට ආසන්න කාලයක් අධිකරණයේ සේවය කර ඇති අතර, දකුණු කැරොලිනාවේ වඩාත්ම වැදගත් නඩු කිහිපයක් මෙහෙයවා තිබෙනවා.

ඇය 1998 දී පරිපථ අධිකරණයට තේරී පත් වූ අතර දැනට පරිපථ අධිකරණ විනිසුරුවරුන්ගේ උපදේශක කමිටුවේ සහ අධිකරණ චර්යා කොමිසමේ සේවය කරනවා.

ඇගේ සැමියා වන ආර්නෝල්ඩ් ගුඩ්ස්ටයින්, හිටපු ඩිමොක්‍රටික් ප්‍රාන්ත සෙනෙට් සභිකයෙකු, මහාමාර්ග කොමසාරිස්වරයෙකු, නීතිඥයෙකු සහ නිවාස ඉදිකරන්නෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

මෙම ගින්න හටගත්තේ, ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාක්ෂිකයන් සහ රාජ්‍ය නිලධාරීන් සමග ඇයව මතභේදයට ලක් කරමින්, දකුණු කැරොලිනා මැතිවරණ කොමිසමට ඡන්ද දත්ත එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සමග බෙදා ගැනීම තාවකාලිකව අවහිර කිරීමෙන් සති කිහිපයකට පසුවයි.

ඇගේ එම නියෝගය සතියකට පසුව දකුණු කැරොලිනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කළා.

කෙටි කලක් පැවතුනද එම තීන්දුව දේශපාලන වශයෙන් දැඩි විරෝධයකට ලක් වූ අතර, විනිසුරුවරියට තර්ජන එල්ල වූ බවද වාර්තා වුණා.

World News

Send your contact Details Today