ක්‍රිප්ටෝ මුදල්, මුදල් විශුද්ධිකරණය වැනි අකටයුතුකම් සඳහා යොදා නොගන්නා බව සහතික කිරීමට අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (Virtual Assets Service Providers (VASP) ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, සැප්තැම්බර් 24 මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකදීයී.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකායේ 2026 තක්සේරුව යටතේ මෙය සිදු කෙරෙන බවයි ඔහු එහිදී පැහැදිලි කළේ.
ඒ අනුව, එය මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) යටතේ සිදුවනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ.
ඊට අදාළ 2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනත සංශෝධනය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ.
එමෙන්ම මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ, ක්‍රිප්ටෝ මුදල් සඳහා ශ්‍රී ලංකාව තුළ නීතියක් මේ දක්වා හඳුන්වා දී නොමැති බවයි.
මහ බැංකු නිලධාරිනියක එහිදී පෙන්වා දුන්නේ, එමගින් එක් එක් රටවල් සඳහා නිර්දේශ 40ක් ඉදිරිපත් කර ඇති අතර එහි සඳහන් 15 වන නිර්දේශය අනුව, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සමීපව අධීක්ෂණ කිරීම මෙහි අරමුණ බවයි.
අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් ලියාපදිංචි කර ගැනීමට අදාළ නිවේදනය ඉදිරියේදී නිකුත් කෙරෙන බව මහ බැංකු නිලධාරිනිය පැවසුවා.
ගෝලීය වෙළෙඳපොළ දත්ත සහ ව්‍යාපාර තොරතුරු සඳහන් වේදිකාවක් වන Statista පවසන පරිදි ශ්‍රී ලංකාවේ ඩිජිටල් වත්කම් වෙළෙඳපොළ 2025 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 62.6ක ආදායමක් කරා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.