උණුසුම් කාලගුණ තත්වයන්ට ඔරොත්තු දෙන cooling ඇඳුම් වර්ගයක් නිර්මාණය කිරීමට හොංකොං පොලිටෙක්නික් විශ්ව විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.
උසස් රෙදිපිළි තාක්ෂණයන් පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය දහුවා ෂෝ මෙම පර්යේෂණයට නායකත්වය ලබා දුන්නා.
Omni-Cool-Dry නමින් හඳුන්වන මෙම නව cooling තාක්ෂණය මගින් සාමාන්‍ය රෙදිවලට වඩා ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක පහකින් පමණ අඩු කළ හැකි අතර සමෙහි දහඩිය ඉවතට හරවා එය ඇඳ සිටින්නාට වියළිව සිටීමට උපකාරී වන බවයි සඳහන් වන්නේ.
තවද මෙමඟින් මිනිස් සිරුරට කළමනාකරණය කළ හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයක වේගයෙන් දහඩිය ඉවත් කරන අතර දහඩිය ඇති වන අවස්ථාවේම, ශරීරය වියළිව හා සුවපහසුව තබා ගැනීමට උපකාරී වනවා.
අතිශය උණුසුම් පරිසරයන්හි වැඩ කරන පුද්ගලයින් සදහා, Soft Robotic Clothing නමින් තවත් cooling ඇඳුම් වර්ගයක් ද නිර්මාණය කර ඇති අතර, එය සෙල්සියස් අංශක 120 °C දක්වා උණුසුමක් ඇති අවස්ථාවලදී අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් අඩු කරනවා.
ලෝක ජනගහණයේ බිලියන 3.6 කට වැඩි ජනතාවක් දැනටමත් වැඩි ගෝලීය උණුසුම් තත්වයන් යටතේ ජීවත් වන අතර, 2000 සිට 2019 දක්වා වසරකට මරණ 480,000ක් පමණ අධික උණුසුම හේතුවෙන් මිය යන බව වාර්තා වී තිබෙනවා.
එම නිසා මෙම නව සොයාගැනීම අනාගතයේදී ගෝලීය උණුසුමට මුහුණ දෙන බිලියන ගණනක් ජනතාව සුරක්ෂිත කිරීමට වැදගත් වන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.