ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා සිටින නුවන්දිකා මේ දිනවල තම දිවියේ ලොකුම සිහිනය සැබෑ කර ගැනීමට සූදානමින් සිටින්නීය. අද මේ කතාබහ ඇයගේ එම සිහිනය ගැනයි…
නුවන්දිකා කියන්නේ නිහඬව තමන්ගේ ගමන යන කෙනෙක්. සම්මානයක් හිමිවෙනවා කියන්නෙම බොහෝ දෙනකුට හීනයක්. මොකද හිතෙන්නේ?
සරසවිය සම්මාන උලෙළ කියන්නේ අපේ අම්මලගේ කාලෙ ඉඳන්ම පැවත එන ජනප්‍රිය සම්මාන උලෙළක්. අපි පුංචි කාලෙත් දැක්කා. ඒ වගේ සම්මාන උලෙළකින් ආධුනික මට ගායන අංශයේ හොඳම සම්මානය හිමිවෙනවා කියන්නෙම හිතාගන්න බැරි දෙයක්. පහුගිය සරසවිය සම්මාන උලෙළ මට පළමුවැනි සිනමා සම්මානය හිමිකර දුන්නා. ඒක මට ගොඩක් වටිනවා. සෝමරත්න දිසානායක සර්ගේ සිංහබාහු සිනමාපටය වෙනුවෙන් මං ගායනා කළ ‘ගිරි සිරස වසා ඇති’ ගීතය වෙනුවෙන් වසරේ හොඳම ගායිකාවට හිමි සම්මානය ලැබුණා. ගීතය රචනා කරන්නේ සෝමරත්න සර්මයි. සංගීතවත් කළේ මහාචාර්ය සමන් පනාපිටිය සර්. සර්ටත් හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය හිමි වුණා. ගීතය පටිගත කරද්දිම මට හිතුණා ගායනයට කෙසේ වෙතත් මේ ගීතයේ සංගීත නිර්මාණයට නම් සම්මානයක් හිමිවිය යුතුමයි කියලා. ඒක ඒ තරම් ලස්සන ගීතයක්. සරසවිය සම්මානය කියන්නේ ඕනෙම කෙනෙකුගේ හීනයක්. මං හිතුවෙ නෑ ඒ වගේ සම්මානයක් මේ තරම් ඉක්මනට මට ලැබේවි කියලා. මං හිතුවේ ක්ෂේත්‍රයේ තව අත්දැකීම් එකතු කරගෙන සෑහෙන්න කාලයක් යද්දි මේ වගේ සම්මානයකට මාව සුදුසුවෙයි කියලා. එවන් සිතුවිල්ලක ඉන්න අවස්ථාවකදී තමයි මට සම්මානය ලැබෙන්නේ. බලාපොරොත්තු නොවුණු මොහොතක ලැබුණු දෙයක් නිසා ඒ වෙලාවේ මට හිතාගන්නත් බැරි වුණා. දැනුණ සතුට වචනවලට පෙරළගන්නත් බැහැ.
මේ වසර ඔබට වාසනාවන්ත වසරක් කිව්වත් හරි. නැවත වතාවක් ඔබ ජනප්‍රියම සම්මානයෙනුත් පිදුම් ලබනවා?
පසුගියදා පැවැති ‘කැලීන් පොපියුලර් අවෝර්ඩ්හි‘ ජනප්‍රියම ගායිකාවට හිමි සම්මානය ලැබෙන්නෙත් නොහිතූ විදිහට. සාමාන්‍යයෙන් මං නිතරම උත්සාහ කරන්නේ පර්ෆෙක්ට් සින්ග් කරන්න. ඒ නිසා ජනප්‍රිය කියන පැත්ත ගැන මං හිතන්නෙ දෙවෙනියට. මාව නොමිනේට් වෙලා තිබුණට ජනප්‍රියම කියන කැටගරියෙන් මට සම්මානයක් ලැබේවි කියල බලාපොරොත්තු වුණේම නෑ. එදා මං ගියේ සම්මාන උලෙළට සහභාගි වෙන්න විතරයි. ජනප්‍රියම සම්මානය ලැබුණෙත් නොසිතූ වෙලාවක. මීට කලින් මට හොඳම වගේම විශිෂ්ටතම කැටගරියෙන් සම්මාන ලැබිල තිබුණට ජනප්‍රියම කැටගරියෙන් සම්මානයක් හිමිවුණු පළමු අවස්ථාව මේක. එහෙම බලද්දි ඇත්තටම මේ වසර මට වාසනාවන්ත වසරක් තමයි. මීට කලින් මට රාජ්‍ය සම්මාන උලෙළේ වසරේ විශිෂ්ටතම ගායිකාවට හිමි සම්මානය හිමි වෙලා තියෙනවා. ඒ වගේම කැම්පස් එකේදී හොඳම ගායිකාව විදිහට දෙවරක් සම්මානිත වෙලා තියෙනවා. පාසල් කාලේ සමස්ත ලංකා තරගවලින් සම්මාන ලැබිල තියෙනවා.
නුවන්දිකාගෙ හිතේ තිබුණු තවත් හීනයක් ළඟදිම සැබෑ වෙන්න යනව කියල ආරංචියි. අපි ඒ ගැනත් කතා කරමු?
මේ හැම දේත් එක්කම කාලයක් තිස්සෙම මං බලාගෙන හිටියෙ මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්න. මේ වසරේම ඒ හීනයත් සැබෑ වෙන්නයි යන්නේ. ලබන ඔක්තෝබර් 18 වැනිදා ‘නුවන්දිකා සේනාරත්න ලයිව් ඉන් කොන්සට්’ එක බිෂොප් විද්‍යාලයේ ඔඩිටෝරියම් එකේ පැවැත්වෙනවා. ඒක මගේ පළමුවැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය. හැමදාම වගේ මගෙ ළඟින් ඉන්න මගේ සමීපතමයන් පිරිස මෙතැනදිත් මට උදවු කරනවා. මගේ පළමුවැනි කොන්සට් එක හරහා ජාත්‍යන්තර වේදිකාවක අත්දැකීම ලබාදෙන්න උත්සාහ කරනවා. මේ වෙද්දි මං ඔරිජිනල් ගීත හැටක් විතර ගායනා කරල තියෙනවා. ඒකෙන් ටිකක් තමයි මං එදාට ගයන්නේ. සිංහල, හින්දි, ඔපෙරා ආදි විවිධ ශානරයේ ගීත 22ක් විතර මං එදාට ගයන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. සංගීතය මෙහෙයවන්න දාසය දෙනෙකුගෙන් යුත් ඔකෙස්‍ට්‍රා එකක් සූදානමින් ඉන්නවා. ප්‍රසංගය නරඹන්න එන ඔයාලව සර්ප්‍රයිස් වෙන විදිහේ වැඩකුත් එදාට සිදුවෙනවා. මේක මගේ පළමුවැනි ප්‍රසංගය නිසා ඒක මට ගොඩක්ම විශේෂයි. මගේ ආදරණීය රසික රසිකාවියන්ට මං ආරාධනා කරනවා. එදාට එන්න ඇවිත් ජාත්‍යන්තර වේදිකාවක පහස විඳගන්න කියලා.