කටාර් වෙත සාකච්ඡාවක් සඳහා පැමිණ සිටි හමාස් නියෝජිතයන්ට එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායලයට එරෙහිව පියවර ගැනීම සඳහා අරාබියේ සහ ඉස්ලාමීය නායකයන් අද විශේෂ සමුළුවක් කැඳවා තිබෙනවා.
අද සමුළුව වෙනුවෙන් ඊයේ දිනයේදී පුර්ව-සාකච්ඡාවක් ද ඒ සම්බන්ධයෙන් කැඳවා තිබුණා.
කටාර් අගමැති ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මන් අල්-තානි පවසන්නේ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපයෙන්, අමෙරිකාව සහ ඊජිප්තුව සමඟ දෝහාවල සමථකරණ උත්සාහය නවතා දැමිමට නොහැකි බවයි.
“ජාත්‍යන්තර ප්‍රජාව දෙබිඩි ක්‍රියා අත්හැර දමා ඊශ්‍රායලය සිදුකළ සියලු අපරාධ සඳහා වගකිව යුතු බවට පත් කිරීමට කාලයයි” හෙතෙම අවධාරණය කළා. “පලස්තීන ජනතාවට එරෙහිව ඔවුන්ගේ මව්බිමෙන් පිටතටත් බලහත්කාරයෙන් සිදුකිරීම අරමුණු කරගත් ජන සංහාරක යුද්ධය, කුමන ව්‍යාජ සාධාරණීකරණයක් ඉදිරිපත් කළත් සාර්ථක විය නොහැකි බව ඊශ්‍රායලය දැනගත යුතු” යැයි අගමැතිවරයා අවධාරණය කරනවා.
මෙම සමුළුවේදී ඊශ්‍රායලයේ ක්‍රියාව සතුරු ක්‍රියාවක් ලෙස සළකමින් ඉදිරියේදී ගන්නා පියවර ඇතුළුව ප්රහාරයහෙළාදකින යෝජනා කෙටුම්පත ඉදිරිපත් කරන අතර කටාරයට සහය දැක්වීම ද එහිදී සිදුකරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඔවුන් අවධාරණය කරන්නේ ඊශ්‍රායලය සිදුකළ මෙම සතුරු ක්‍රියාව කලාපයේ සාමයට, සහජීවනයට තර්ජනයක් බවයි.
පසුගිය සැප්තැම්බර් 9 ප්රහාරයයෙන්හමාස් සාමාජිකයින් පස් දෙනෙකු මරා දමා තිබූ නමුත් එහි නායකත්වයට ජීවිත හානි නොවූ බවයි හමාස් පවසන්නේ.
මෙම ප්‍රහාරයෙන් අමෙරිකානු හිතවතුන් වන ගල්ෆ් අරාබි රාජ්‍යයන් සමීප වීමට හේතු වී තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර සබඳතා 2020 දී සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණත් මේ වනවිට යළි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බාධා මතුව තිබෙනවා.
මේ අතර හමාස් නායකයින් නෙරපා හරින ලෙසයි ඊශ්‍රායලය කටාර් රාජ්‍යයෙන් ඉල්ලා ඇත්තේ.
වත්මන් මෙන්ම අනාගත කලාපීය ගිවිසුම් කෙරෙහි ද ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය බලපානු ඇති බවයි එම රාජ්‍ය නායකයන් අවධාරණය කරන්නේ.
ගාසාවේ පලස්තීන ජනතාව සමූල ඝාතනය කරන බවට ඊශ්‍රායලයට චෝදනා එල්ල වන බවත් පලස්තීනයේ වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ ගැටුම් අතරතුර 64,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බවත් බලධාරීන් පවසනවා.
ඊශ්‍රායලය චෝදනා ප්‍රතික්ෂේප කළත් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් නායකයින් සිය භූමියේ සිටීම සම්බන්ධයෙන් කටාර් රාජ් යයට දිගටම පීඩනය එල්ල කරනවා.
හමාස් නිලධාරීන් නෙරපා හරින ලෙස පවසන ඊශ්‍රායලය ‘ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන එන්න, මන්ද ඔබ එසේ නොකරන්නේ නම්, අපි ඒක කරනවා’ යනුවෙන් දෝහා වෙත අනතුරු ඇඟවූවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යානු ‘රාජ්‍ය ත්‍රස්තවාදය’ සිදුකරන බවත් සාමය සඳහා පවතින අවස්ථා නැතිකරගන්නා බවටත් කටාර් චෝදනා කරනවා.
ඊශ්‍රායලයේ කටාර් ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති නොසතුට පළකරන අතර මීට පෙර වාර්තාවක දැක්වුණේ ඒ සම්බන්ධයෙන් දුරකතනයෙන් තෙනන්යාහු අමතා ට්‍රම්ප් බැනවැදුණු බවයි.
‘ඒ වගේ දේයක් ආයේ වෙන්න බෑ’ යැයිද එහිදී ට්‍රම්ප් පැවසූ බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.