තම බිරිඳගේ සමේ පැහැයට අකමැති නිසා ඇය පණපිටින් පුළුස්සා දැමීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අධිකරණයක් පුරුෂයකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.
මරණයට පෙර ලබාදුන් ප්‍රකාශවල ලක්ෂ්මි පවසා ඇත්තේ ඇගේ සැමියා වන කිෂාන්දාස් ‘අඳුරු සමක් ඇති නිසා ඇයට නිතිපතා නින්දා කළ’ බවයි.
උතුරු උදයිපූර් නගරයේ දිස්ත්‍රික් විනිසුරු රාහුල් චෞද්රි මරණ දඬුවම පැහැදිලි කරමින් කියා සිටියේ මෙම ඝාතනය ‘දුර්ලභතම දුර්ලභ’ කාණ්ඩයට අයත් බවත් එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවයි.
කිෂාන්දාස්ගේ නීතිඥවරයා බීබීසීයට පැවසුවේ තම සේවාදායකයා නිර්දෝෂී බැවින් ඔවුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.
වසර අටකට පෙර ලක්ෂ්මිගේ සිදුවූ ඝාතනය සහ සති අන්තයේ ලබා දුන් තීන්දුව රටේ සිරස්තල බවට පත් කර තිබෙනවා.
ලක්ෂ්මිට පහරදීම සිදු වූයේ 2017 ජුනි 24 වැනිදා රාත්‍රියේ බව අධිකරණ නියෝගයට අනුව කියැවී තිබුණා.
ඇය මරණයට පෙර පොලිසියට, වෛද්‍යවරුන්ට සහ විධායක මහේස්ත්‍රාත්වරයකුට ලබා දුන් ප්‍රකාශ තීන්දුවේ දී උපුටා දක්වා තිබෙනවා.
ලක්ෂ්මි පැවසුවේ ඇගේ සැමියා බොහෝ විට ඇයට ‘කාලි’ හෙවත් අඳුරු සමක් ඇති බව පැවසූ බවත්, 2016 දී ඔවුන්ගේ විවාහයෙන් පසු ශරීරය ගැන කියමින් ඇයට ලැජ්ජාවට පත් කළ බවයි.
ඇය මිය ගිය රාත්‍රියේ, කිෂාන්දාස් දුඹුරු පැහැති දියරයක් සහිත ප්ලාස්ටික් බෝතලයක් ගෙනැවිත් එය ඇගේ සම පැහැපත් කිරීමේ ඖෂධයක් බව පවසා තිබෙනවා.
ප්‍රකාශයන්ට අනුව, ඔහු එම දියරය ඇගේ සිරුරට ආලේප කළ අතර එය ඇසිඩ් සුවඳක් ඇති බවට ඇය පැමිණිලි කළ විට, ඔහු සුවඳ දුම් පොල්ලකින් ඇයට ගිනි තබා තිබුණා.
ඇගේ සිරුර පිළිස්සීමට පටන් ගත් විට, ඔහු ඉතිරි දියරය ඇය මත වත්කර පලා ගොස් තිබෙනවා.
කිෂාන්දාස්ගේ මව්පියන් සහ සහෝදරිය ඇයව රෝහලට ගෙන ගිය අතර එහිදී ඇය පසුව මිය ගොස් තිබුණා.