මාර්ගගත යෙදවුම් හරහා ආහාර ඇණවුම් කිරීමේදී මුහුණදීමට සිදුවන සැඟවුණු ගාස්තු, අපැහැදිලි ප්‍රවර්ධන දීමනා සහ බෙදාහැරීමේ ප්‍රමාදයන් වැනි ගැටලු නිරාකරණය කිරීම සඳහා ඩුබායි රාජ්‍යය නව නීති මාලාවක් හඳුන්වා දී තිබෙන බව ගල්ෆ් නිවුස් පුවත් වෙබ් අඩවිය සඳහන් කරනවා.
ඩුබායි පාරිභෝගික ආරක්ෂණ සහ සාධාරණ වෙළඳ සංස්ථාව (DCCPFT) විසින් හඳුන්වා දුන් මෙම නව රෙගුලාසිවල අරමුණ වන්නේ පාරිභෝගිකයන්ට මෙන්ම ආපනශාලා හිමියන්ටද වඩාත් සුරක්ෂිත, සාධාරණ සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇණවුම තහවුරු කිරීමට පෙර අනපේක්ෂිත ගාස්තු අයවීම් සිදු නොවනු ඇති.
එමෙන්ම බෙදාහැරීමේ ගාස්තු, සේවා ගාස්තු සහ ප්‍රවර්ධන දීමනාවලට අදාළ පිරිවැය දැන් පැහැදිලිවම ප්‍රදර්ශනය කළ යුතු අතර ‘නොමිලේ බෙදාහැරීම’ වැනි දීමනා යටතේ රහසිගතව අමතර පිරිවැයක් එක්කිරීමද වැළකෙනු ඇති.
මෙම නීති මඟින් ඇණවුමක් ප්‍රමාද වීමකදී, අවලංගු කිරීමකදී හෝ යම් දෝෂයක් සහිතව ලැබුණු විට එහි වගකීම දැරිය යුත්තේ කවුරුන්ද යන්න පැහැදිලිව නිර්වචනය කර තිබෙනවා.
එමඟින් පාරිභෝගිකයා අතරමැදි අපහසුතාවකට පත්වීම වළක්වනවා.
එමෙන්ම, ඇතැම් ආපනශාලා යෙදවුම තුළ ඉහළින් ප්‍රවර්ධනය කර පෙන්වීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවද පාරිභෝගිකයා දැනුවත් කළ යුතු වනවා.
මෙම නව ක්‍රියාමාර්ග හේතුවෙන්, ඉක්මන් දිවා ආහාරයක්, පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහයක් හෝ පළමු වරට නව අවන්හලකින් ආහාර ඇණවුම් කළද, ඩුබායිහි ආහාර ඇණවුම් කිරීමේ අත්දැකීම වඩාත් විශ්වාසනීය සහ ස්ථාවර එකක් බවට පත්වනු ඇතැයි ගල්ෆ් නිවුස් වාර්තා කර තිබෙනවා.