ඉන්දුනීසියාව පුරා පැතිර යමින් ඇති විරෝධතා රැල්ල ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා.
ප්රකෝපකාරී පිරිස් එරට ප්‍රාදේශීය පාර්ලිමේන්තුවකට ද ගිනි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
කෝපයට පත් විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි රැසකට ද අලාභ හානි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු විරෝධතා අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් මියගොස් ඇති අතර රට පුරා පැතිර යන විරෝධතා රැල්ල ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියොන්ටෝ පිළිබඳ පරික්ෂණයක් ලෙස සැලකිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
දේශපාලඥයින්ගේ ඉහළ වැටුප්වලට එරෙහිව මෙම විරෝධතා මාලාව ආරම්භ වුණා.
ඉන්දුනීසියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියලුම සාමාජිකයින් ඔවුන්ගේ වැටුප්වලට අමතරව රුපියල් මිලියන 50ක මාසික දීමනාවක් ලබා ගන්නා බව අනාවරණ වීමත් සමඟ එම විරෝධතා ආරම්භ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ජීවන වියදම, බදු මෙන්ම විරැකියාව හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටින අවස්ථාවක් එරට දේශපාලඥයින් මෙවැනි වරප්‍රසාදයක් භුක්ති විඳීම සදාචාරාත්මක නොවන බව බොහෝ පාර්ශ්ව පෙන්වා දෙනවා.
ඉන්දුනීසියානු දේශපාලඥයින් ලබාගන්නා මාසික දීමනාව පසුගිය වසරේදී හඳුන්වා දී ඇති ඉන්දුනීසියාවේ අවම වැටුප මෙන් දස ගුණයකට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ලොව තුන්වන විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍ය වන්නේ ද ඉන්දුනීසියාවයි.