Latest News

“මගේ සංගීත ගමන ආරම්භ වෙන්නෙ මුහුණුපොත හරහා” – නිල්නෙතු දිසානායක

Published 4 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිල්නෙතු දිසානායක සංගීත ක්ෂේත්‍රයේ හිමින් සීරුවේ ගමනක් යන්නියක් ලෙස හඳුන්වාදෙන්නට පුළුවන්. පාසල් වියේදී සංගීතය හදාරා තමා උපතින් ලද ගායන හැකියාවත් සමඟ කලා ලොවට පිවිසි ඇය මේ වන විට ඇගේම ගීත නිර්මාණ හරහා රසිකයන් අතරට පැමිණ සිටියි.

ඇය තම සංගීත කටයුතු පිළිබඳව පැවසුවේ මෙලෙසිනි…

“මම සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ 2023 වසරේ. මම දැනට මගේ ගීත නිර්මාණ අටක් කරලා තියෙනවා. තනි ගීත ගායනා සහ යුග ගායනා විදිහට ඒ ගීත ගායනා කළේ. ඒ අතර ‘අපි ආදරෙන්’, ‘සඳ එන්නේ නැතුවාද’, ‘මුදා බව බැමි’, ‘එකට පිපිලා’, ‘විසල් දෙනෙතේ’ වැනි ගීත තිබෙනවා. මගේ මුල්ම ගීතය අසම්මත‍යට හාදුවක් ගීතය. මම මෑතකදීම ගායනා කළේ ‘හිමිසඳ’ ගීතය. එය මධුමාධව අරවින්ද සමඟ ගායනා කළ ගීතයක්. මෙම ගීත මේ වනවිට මාධ්‍ය නාළිකා හා යූටියුබ් හරහා විකාශනය වෙනවා.“

ගෘහණියක් ලෙස තම ආදරණීය පවුල රැක බලා ගනිමින් දින ගෙවන ඇය සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ මේ ආකාරයෙනි.

“මගේ සංගීත ගමන ආරම්භ වෙන්නෙ මුහුණුපොත හරහා. මම විවාහ වෙලා ගෙදර වැඩ කටයුතුත් කරන අතරේ මම ගීත ගායනා කරමින් මුහුණුපොත හරහා ඒවා පළ කළා. ඒ විදිහට ගීත පළ කළාට පස්සේ බොහෝ පිරිසක් මාව අඳුනගත්තා. ගොඩක් ප්‍රතිචාර ලැබුණා. එහිදී මගේම ගීත නිර්මාණය කිරීම සඳහා බොහෝ පිරිසක් මාව දිරිමත් කළා. මම මුදල් වියදම් කරමින් මුල්ම ගීත දෙක නිර්මාණය කර ගත්තාට පසුව අනෙක් ගීත සඳහා පද රචනා හා අනෙකුත් නිර්මාණ කටයුතු කර දෙන්න පිරිස් ඉදිරිපත් වුණා. ”

ඇය කලාවට පිවිසෙන්නේ සමාජ මාධ්‍ය හරහාය. එසේ පැමිණි ගමන් මගේ තමාගේම අනන්‍යතාවක් සහිතව ඉදිරියට යන නිල්නෙතු එමඟින් සමාජයට ලබා දෙන්නේ වටිනා පණිවිඩයකි.

“ඇත්තටම සමාජ මාධ්‍යය කියන්නෙ හරි විදිහට භාවිත කළොත් ඉතා වටිනා දෙයක්. අපි එය තේරුම් ගෙන කටයුතු කළොත් ඉතා හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන් මාධ්‍යයක් තමයි මුහුණුපොත කියන්නේ.”

සංගීතය විශ්ව භාෂාවක් යන්න ප්‍රකට වදනකි. නිල්නෙතු ද එය මනාව විඳින අපූරු රසිකාවියක් වේ.

“මම ගීත රසවිඳින්න හරිම කැමති කෙනෙක්. සමහර වෙලාවට ගායනා කරනවට වඩා මං ආසයි ගීත අහගෙන ඉන්න. සංගීතය තමයි මගේ ජීවිතය.

මගේ ගීත රසවිඳපු ප්‍රවීණයෝ කිහිපදෙනක්ම කතා කරලා සුබ පැතුවා. ඒ වගේම මගේ වැරදි, අඩුපාඩු පෙන්නලා දුන්නා. ඒ නිසා ගීත ගායනා කරන්න තියෙන උනන්දුව තවත් වැඩි වෙනවා.” නිල්නෙතු එසේ පවසන්නීය.

World News

Send your contact Details Today