ජානමය වශයෙන් වෙනස් කරන ලද Pig Lung (ඌරෙකුගේ පෙනහල්ලක්) එකක් ලෝකයේ පළමු වරට මිනිසෙකු තුළ දින නවයක් ක්‍රියාත්මක වී තිබෙනවා.
Nature Medicine හි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ මගින් විශේෂ පෙනහළු බද්ධ කිරීමක් (cross-species lung transplants) සිදුකළ පළමු අවස්ථාව මෙය වනු ඇති බවයි පැවසෙන්නේ.
මීට පෙර මෙවැනි අධ්‍යයනයකදී ජාන සංස්කරණය කරන ලද ඌරන්ගේ වකුගඩු, අක්මා සහ හදවත් වැනි අවයව මිනිසුන්ට බද්ධ කිරීම සිදුකෙරුණා.
කෙසේ වෙතත්, පෙනහළු බද්ධ කිරීම ඉන්ද්‍රියයේ සංකීර්ණත්වය හේතුවෙන් නව අභියෝග වූ බවයි පර්යේෂකයින් පවසන්නේ.
චීනයේ ශ්වසන රෝග සඳහා වූ ජාතික සායනික පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායම, ජාන සංස්කරණය කරන ලද ඌරෙකුගේ වම් පෙණහලුව 39 හැවිරිදි පුද්ගලයෙකුට බද්ධ කරනු ලැබුවා.
ලබන්නා මීට පෙර සායනික තක්සේරු හතරකදී මොළය මිය ගොස් සිටි අයෙකු බවයි වාර්තා වන්නේ.
පර්යේෂණයේදී මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය කර ප්‍රතික්ෂේප කිරීමක් කළ හැකි ප්‍රතිදේහජනක ඉවත් කිරීම සඳහා ඌරා ජාන සංස්කරණයට ලක්කර තිබුණා.
මෙහිදී සොයාගනු ලැබුවේ එම සත්වයාගේ පෙනහළු මිනිස් සිරුර විසින් පිළිගෙන දින නවයක් සක්‍රීයව ක්‍රියාකර ඇති බවයි.
කෙසේ වෙතත්, බද්ධ කිරීමෙන් පැය 24 කට පසු පෙනහළු හානිවීමේ සලකුණු සහ තුන්වන සහ හයවන දිනවලදී ඉන්ද්‍රිය ප්‍රතිදේහ මඟින් ප්‍රතික්ෂේප කිරීමේ සලකුණු පර්යේෂකයන් නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
නවවන දිනයේදී ඔවුන් අත්හදා බැලීම අවසන් කර ඇති අතර මෙම සොයාගැනීම් ඌරෙකුගෙන් මිනිසෙකුට පෙනහළු බද්ධ කිරීමේ පළමු පියවර නියෝජනය කරනු ලබනවා.
කෙසේ වෙතත්, ඌරා තුළ සිදු කරන ලද ජානමය වෙනස් කිරීම් සහ පෙනහළු ප්‍රතිශක්තිකරණ යන දෙකටම අවශ්‍ය ඖෂධ තවදුරටත් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවයි පර්යේෂකයින් පෙන්වාදෙන්නේ.





