ඉතාලි පොලිසිය විසින් යුක්‍රේන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ජර්මානු නඩු පවරන්නන් අගෝස්තු 21 වන දින නිවේදනය කළා.
ඒ 2022 නෝර්ඩ් ස්ට්‍රීම් නල මාර්ගයේ පිපිරීම් සම්බන්ධයෙන් යුරෝපීය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් යටතේයී.
බ්ලූම්බර්ග් සහ යුරෝනිව්ස් වලට අනුව, නල මාර්ග පුපුරවා හැරීමේ මෙහෙයුම සම්බන්ධීකරණය කළ බවට ජර්මානු විමර්ශකයින් සැක කරන 49 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සම්පූර්ණ නම ලබා දී නොමැති සැකකරු ඉතාලියේ රිමිනි පළාතේ තම පවුලේ අය සමඟ සංචාරක නවාතැනක නැවතී සිට තිබෙනවා.
රුසියාව, ජර්මනියට සම්බන්ධ කරන දිය යට නෝර්ඩ් ස්ට්‍රීම් 1 සහ නෝර්ඩ් ස්ට්‍රීම් 2 නල මාර්ග 2022 සැප්තැම්බර් මාසයේදී පුපුරුවා හරිනු ලැබුවා.
සිද්ධිය හෙළිදරව් කරමින්, මොස්කව් සහ බටහිර රටවල් සිද්ධිය සම්බන්ධයෙන් දොස් පැවරූ අතර 2024 ජූලි මාසයේදී, හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් නෝර්ඩ් ස්ට්‍රීම් නල මාර්ග පුපුරුවා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයට චෝදනා කළා.
ජර්මානු නඩු පවරන්නන්ට අනුව, බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ සහචරයින් ජර්මානු රොස්ටොක් වරායෙන් පිටත් වූ රුවල් යාත්‍රාවක් භාවිතා කර තිබෙනවා.
මෙම යාත්‍රාව ජර්මානු සමාගමකින් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරමින් අතරමැදියන් හරහා කුලියට ගෙන තිබුණ එකක් බවයි වාර්තා වන්නේ.
මීට පෙර, 2024 අගෝස්තු මාසයේදී, ජර්මානු මාධ්‍ය තවත් යුක්‍රේන ජාතිකයෙකු වන වොලොඩිමියර් ඉසෙඩ් (ස්වීඩනයේ එක්ස්ප්‍රස්සන් විසින් වයස අවුරුදු 44 ක් වූ වොලොඩිමියර් ෂුරව්ලොව් ලෙස හඳුනාගෙන ඇත) අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් වාර්තා කළ නමුත් ඔහු සිටින ස්ථානය තවමත් අනාවරණය වී නැහැ.