ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 16 කට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී තිබෙන බවත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වනවා.
ඒ අනුව කතුන් මූලීකත්වය කර ගත් පවුල්වලට ප්‍රමාණවත්, පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බව ද එම වාර්තාව පෙන්වා දෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පවුල් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් බඩගින්න නිවා ගැනීම සඳහා ගන්නා ආහාර වේල් ගණන අඩු කිරීමට, ආහාර වේලක් සඳහා ගන්නා ආහාර ප්‍රමාණය අඩුකිරීමට හෝ තමන් කැමති ආහාර ගැනීම අඩුකිරීමට පෙළඹී තිබෙන බවද ලෝක ආහාර වැඩසටහනේ දත්ත පෙන්වා දෙනවා.
ශ්‍රී ලාංකික පවුල්වලින් හතරෙන් එකක් ප්‍රමාණවත් ආහාර වේල් නොගන්නා බවත් මෙම හේතු නිසා නිසි බර නොමැතිවීමෙන් වයස අවුරුදු 5ට අඩු ළමයන් තුළ හට ගන්නා මන්ද පෝෂණය ඉහළ ගොස් තිබෙන බවයි මහ කොමසාරිස් කාර්යාලය පැවැසුවේ.
සියයට 12.2 ක්වූ වයස අවුරුදු 5ට අඩු ළමයන් තුළ මන්ද පෝෂණය සියයට 17 දක්වා 2021 සිට 2024 වසර දක්වා කාලයේදී ඉහළ ගොස් ඇතැයි ද මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවට අතීතයෙන් මිදීමට අවස්ථාවක් උදාවී තිබෙන බවත් මෙරට සිවිල් යුද්ධය පැවැති කාලයේදී ඇතුළුව මෙතෙක් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, අපයෝජන සහ අපරාධ සම්බන්ධයෙන් රජයට, ආරක්ෂක අංශවලට මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානය වැනි සන්නද්ධ කල්ලිවලට තිබෙන වගකීම ඒ ඒ පාර්ශ්ව නිල වශයෙන් පිළිගැනීමෙන් එයට ආරම්භයක් ලබාගත හැකි බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පැවැසුවා.
ශ්‍රී ලංකාවේ ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය මෙන්ම වංචා, දූෂණ හේතුවෙන්ද ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙන බවත් මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
ආර්ථික අර්බුදයත් සමග 2021 සිට 2024 දක්වා කාලය ශ්‍රී ලංකාවේ දුගීභාවය දෙගුණයකින් සියයට 24.5 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය ආහාර අනාරක්ෂිතතාවයටද හේතුවක් වී ඇති බවත් මහ කොමසාරිස්වරයා සඳහන් කළා.