දරු ප්‍රසූතියකට මුහුණ දෙන සේවක මවකට නීතියෙන් හිමි ප්‍රසූත නිවාඩු ලබා නොදෙන සේවා යෝජකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
ලෝක මවුකිරි දීමේ සතිය (අගෝස්තු 01-07) නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු නිලධාරී යූ.ටී.ඩබ්ලිව්. රත්නායක මහතා, මෙම අයිතිවාසිකම් පිළිබඳව පැහැදිලි කළා.
ඒ අනුව, රාජ්‍ය අංශයේ සේවිකාවකට දරු ප්‍රසූතියෙන් පසු වැටුප් සහිත සති 12ක නිවාඩුවක් හිමිවන අතර, පෞද්ගලික සහ වතු අංශවල සේවිකාවකට වැටුප් සහිත දින 84ක නිවාඩුවක් සඳහා නීත්‍යානුකූල හිමිකමක් පවතිනවා.
මෙම නිවාඩු කාලසීමාව තුළ යෙදෙන පෝය, ව්‍යවස්ථාපිත සහ අනෙකුත් ප්‍රසිද්ධ නිවාඩු දිනයන්, අදාළ දින 84ට හෝ සති 12ට අමතරව ලබා දිය යුතු බවද ඒ මහතා අවධාරණය කළා.
තවද, ප්‍රසූතිකාධාර ආඥා පනත යටතේ කිරි දෙන මවුවරුන් සඳහා විශේෂ විවේක කාලයක්ද හිමි වනවා.
සේවා ස්ථානයේ දරුවන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් (දාරකාගාරයක්) නොමැතිනම්, මවට දිනකට පැය දෙකක මවුකිරි දීමේ විවේකයක් ලබාගත හැකියි.
එවැනි පහසුකම් සේවා ස්ථානය විසින් සලසා ඇත්නම්, පැය භාගයක විවේකයක් හිමි වනවා.
මවගේ පහසුව අනුව මෙම විවේක කාලයන් සකසා ගැනීමටද අවස්ථාව පවතිනවා.
සාප්පු හා කාර්යාල පනත, පඩිපාලක සභා ආඥා පනත සහ 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥා පනත (2018 සංශෝධනය සහිතව) මඟින් මෙම අයිතිවාසිකම් සියල්ල තහවුරු කර තිබෙනවා.