දරුවන් නොමැතිව දුක් විඳින දහසකුත් මව්වරුන්ට සහනයක් ලබා දෙන රජයේ අලුත් වැඩපිළිවෙළක් පිළිබඳව පසුගියදා අනාවරණය වුණා.
ඒ අනුව පළමුවරට රජය විසින් නල දරුඋපත් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
මෙහි සාර්ථක ගැබ් ගැන්වීම පසුගිය වසරේ දී සිදු කෙරුණු අතර මෙම සාර්ථක ගැබ් ගැන්වීමට යොමු වූ මවගේ දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමකින් ඊයේ (31 දා) රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී සාර්ථක ලෙස සිදු කළා.
මෙම සැත්කම සිදු කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ, ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රසික හේරත් මහතා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින්.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මධ්‍යස්ථානයක නළදරු තාක්ෂණය භාවිත කරමින් සිදුකළ ගැබ් ගැන්වීමකින් පසු, රජයේ රෝහලක දී සිදු කරනු ලැබූ පළමු දරු ප්‍රසූතිය මෙය වීම විශේෂත්වයක්.
මෙම දරු ප්‍රසූතියට යොමු වූයේ තිස් එක් හැවිරිදි මවක වන අතර ඇයත් දරුවාත් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවනවා.
මෙතෙක් කාලයක් පෞද්ගලික අංශයට සීමා වී තිබූ මෙම නල දරු උපත් සඳහා අධික වියදමක් වැය වන බැවින් දරුවන් නොමැති මව්වරුන්ට සහනයක් ලබා දීමේ අරමුණෙන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඉදිරියටත් තීරණය කර තිබෙනවා.