ගාසා තීරයේ දැවැන්ත සාගතයක අවදානමක් පවතින බවට අනතුරු අඟවා ජාත්‍යන්තර මානුෂීය ආධාර සපයන සංවිධාන 115ක් අත්සන් තැබූ ලිපියක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයේ ජනතාව සාගින්නේ මිය යෑමට ඊශ්‍රායල රජය කටයුතු කරන බවට චෝදනා කරමින් ප්‍රකාශයට පත් කර ඇති එම ලිපියෙහි සමස්ත ගාසා තීරයේ ජන ජීවිතය ව්‍යාකූලත්වයට පත් කිරීම සහ ජනතාවට කුසගින්නේ මියයෑමට ඉඩ සැලැස්වීමෙන් ඊශ්‍රායල රජය අමානුෂීය ක්‍රියාකලාපයක නිරතවන බවත්, ජාත්‍යන්තර මානුෂීය ආධාර සැපයුම අවහිර කිරීමෙන් ගාසා තීරයේ දරුවන් දහස් සංඛ්‍යාවක් මන්දපෝෂණයට ගොදුරු වී ඇති බවත් සඳහන් කර තිබෙන බව ද වාර්තා වනවා.
මේ වන විට දැඩි අවදානම් තත්ත්වයක පවතින ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණය වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතින බවද එහි සඳහන්.
ගාසා තීරයට නිත්‍ය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙසත්, දේශසීමා දොරටු විවෘත කර සියලු ආධාර සීමාවන් ඉවත් කිරීමට ඊශ්‍රායල රජයට බලපෑම් කරන ලෙසත් එම ලිපිය මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර ගාසා තීරයේ දරුවන් මිලියනයක් මන්දපෝෂණයට ගොදුරු වීමේ අවදානමක් මතුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ ප්‍රකාශක අද්නාන් අබු හස්නා අනතුරු ඇඟවූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගාසා තීරයේ දරුවන් පමණක් නොව පානීය ජලය සහ ආහාර නොලැබීමෙන් 90%ක වැඩිහිටි ජනතාව ද දරුණු සාගින්නකට ගොදුරු වීමේ අවදානමක් මතුවී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මූලික අවශ්‍යතා බිඳ වැටීම හේතුවෙන් ගාසා තීරයේ වසංගත හා රෝග පැතිරීමේ අවදානමත් ඉහළ මට්ටමක පවතින බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.