ජෝ බයිඩ්න් හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වූ 2020 අමෙරිකානු ජනාධිපතිවරණයේදී චීනයේ මැදිහත්වීම් සිදුවූ බවට චෝදනා එල්ල වන වාර්තාවක් එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානි කාෂ් පටේල් විසින් සෙනෙට් අධිකරණ කමිටුවේ සභාපති සෙනෙට් සභික චක් ග්රස්ලි වෙත භාර දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එවර ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වීම සම්බන්ධව චෝදනා රැසක් ඇති බවත්, ඒ සඳහා චීනයේ කොමියුනිස්ට් පක්ෂයෙන් බලපෑම් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති බවත් එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
සිය කාර්යාංශය සතුව තිබී වර්ගීකරණය නොකළ එම වාර්තාව සොයා ගනු ලැබුවේ වසර 2020 සිට මැතිවරණ ආශ්රිත බුද්ධි තොරතුරු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සතුව ඇති බවට මීට පෙර සෙනෙට් අධිකරණ කමිටුවේ ප්‍රධානියා විසින් මතු කරනු ලැබූ තොරතුරු අනුව බව කාෂ් පටේල් ප්‍රකාශ කර තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සෙනෙට් අධිකරණ කමිටුව මඟින් සිදු කිරීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මැතිවරණය දූෂිත බව 2020 ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි විරෝධතාවක නිරතවූ බව ද වාර්තා වනවා.