මැදපෙරදිග කලාපයේ බොහොමයක් රටවල සිය ගුවන් කලාපය (Aero Space) අද (24) දින අලුයම 01.00 පමණ සිට යළි විවෘත කර ඇති බැවින් , එම කලාපය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් යුතුව පැමිණෙන බව කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපතිනිය සඳහන් කර ඇත්තේ, කටාර් රාජ්‍යයේ ගුවන් කලාපය වසා දමා තිබුණ ද, ඉතා සීමිත පරිදි සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
අද උදෑසන වනවිට මැදපෙරදිග කලාපයේ රටවල් වෙත හරවා යවා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සියල්ලම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව ද රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවා.
කටාර් රාජ්‍යයේ දෝහා සිට ඊයේ (23) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානය මෙතෙක් පැමිණ නැති අතර , කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා වෙත පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ද , නිශ්කාශන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බව ද ප්‍රකාශ කර තිබෙනවා.
මැදපෙරදිග බලා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිත ගුවන් යානාවල නිශ්කාශන කටයුතු අද දින පස්වරු 02.30 සිට ආරම්භ කරන අතර අනෙකුත් ගුවන් ගමන්, ප්‍රමාද වීමකින් යුතුව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද සඳහන්.