පාකිස්තානයට බලපෑ සුළු භූකම්පන තත්ත්වයක් මත කරච්චි නුවර බන්ධනාගාරයක සිරමැදිරිවලින් පිටතට ගත් රැඳවියන් 216 දෙනකු නිලධාරීන්ට පහරදී පලා ගොස් තිබෙනවා.
ඉන් 78 දෙනකු නැවත අත්අඩංගුවට ගෙන තිබෙන බවයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේ.
පෙරේදා මධ්‍යම රාත්‍රියේදී සුළු පරිමාණයේ භූකම්පන මාලාවක් හටගැනීමත් සමඟ ආරක්ෂාව සැලකිල්ලට ගෙන රැඳවියන් දෙදහසක් පමණ සිරමැදිරිවලින් පිටතට ගත් බවත්, ඉන් 216 දෙනකු බන්ධනාගාර නියාමකවරුන්ට පහරදී පලා ගිය බවත් කරච්චි නුවර මලිර් බන්ධනාගාරයේ ප්‍රධානියා අර්ෂද් ෂා ප්‍රකාශ කළ බව ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.
එම ගැටුම අතරතුර රැඳවියකු මිය ගොස් ඇති අතර, පරාමිලිටරි සෙබළුන් තිදෙනකු සහ නියාමකවරයකු තුවාල ලැබූ බව ද බන්ධනාගාර ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
පලා ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙඩි තැබීමට සිදුවූ බව සඳහන් කර ඇති බන්ධනාගාර ප්‍රධානියා එම වෙඩි තැබීමේදී රැඳවියකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ බව සඳහන් කර තිබෙනවා.
කරච්චි නුවර අයත් සින්ද් ප්‍රාන්තයේ පොලිස්පති ගුලාම් නබි මෙනන් සඳහන් කර ඇත්තේ පලා ගිය රැඳවියන් සොයා සිදු කළ මෙහෙයුමේදී 78 දෙනකු යළි අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.
සෙසු රැඳවියන් 138 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රාන්තය පුරා දැඩි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවත් පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා.
පලා ගිය රැඳවියන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයන් බව ද වාර්තා වනවා.