අම්පාර, සමන්ගල පුරාවිද්‍යා භුමිය ආශ්‍රිතව කළ ගවේෂණයකින් සොයාගත් යකඩ යුගයට අයත් කේතු හැඩැති සුසාන ස්මාරක තුළ ඇති දෑ විවෘත කර බැලීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් සඳහන් කළේ, ආදි මානවයින්ගේ සුසාන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ වැදගත් අණාවරණයන් මෙම සුසාන ස්මාරක අධ්‍යයනයේදී හෙළිකර ගත හැකි වනු ඇති බවයි.
ඒ අනුව අම්පාර, සමන්ගල පුරාවිද්‍යා භුමියෙන් සොයා ගනු ලැබූ එම සුසාන ස්මාරක විවෘත කිරීම අද (ජුනි 2 වන දා) ආරම්භ කෙරුණා.
සමන්ගල පුරාවිද්‍යා සංකීර්ණය පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ, වැව්ගම්පත්තුව උතුර (උහන) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, බණ්ඩාරදූව ග්‍රාම නිලධාරී වසමේයී.
මෙම භූමිය වනාන්තර ආශ්‍රිත කන්දක් මත පිහිටා ඇති බෞද්ධ ආරාම නටබුන්වලින් සමන්විත වන අතර, එහි ආසන්න වශයෙන් ගුහා 55ක් සහ ලෙන් රැසක් තිබෙනවා.
එම ප්‍රදේශය ආශ්‍රිතව, මුල් බ්‍රාහ්මීය අක්ෂරවලින් යුත් සෙල්ලිපි 24ක් හඳුනාගෙන තිබෙන අතර ඒ අසල පිහිටි ස්තූපයක කරන ලද කැණීම්වලින් ඇතුළත මැටි ව්‍යුහයක නටබුන් සොයාගෙන තිබෙනවා.
මෙම ස්ථානයේ සිදු කරන ලද කාල නීර්ණයට අනුව, මෙම සංකීර්ණය ක්‍රි.පූ. 3 වන සියවස දක්වා දිවෙන බවට විශ්වාස කෙරේ. එමෙන් ම, පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ සෙල්ලිපි මත පදනම්ව, මෙම බෞද්ධ ආරාමය මුල් ඓතිහාසික යුගයේ ඉදිකරන ලද බවයි සැලකෙන්නේ.
මීට අමතරව, එම ස්ථානය අවට සිදු කරන ලද පුරාවිද්‍යාත්මක සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, පුරාණයේ විසූ ජනතාව සුසාන අංගනයක් ලෙස මෙම ප්‍රදේශය භාවිත කර ඇති බව ය. මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් බුද්ධාගම පැමිණීමටත් පෙර යකඩ යුගයේදී ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ දියුණු භූමදාන පද්ධතියක් පැවති බවයි.
දැනට කර ඇති කාලනීර්ණයන් සහ ඉදිරියේදී සිදු කිරීමට නියමිත කාල නීර්ණය තුළින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව මානව සම්ප්‍රදායන් හා සංස්කෘතික විකාශයන් සිදුව ඇති ආකාරය නිශ්චිතව දැන ගැනීමට හැකි බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
ඒ අනුව කාල නීර්ණය සඳහා සාම්පල් අමෙරිකාවට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.