පානීය ජල බෝතල් සඳහා පාලන මිලක් අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වුවත් එම මිල සඳහන් බොන වතුර බෝතල් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන්නේ එළැඹෙන මැයි මාසයේ සිට බව පානීය ජල බෝතල් සමාගම් සඳහන් කරනවා.
එම සමාගම් පවසන්නේ පාලන මිල නියම කිරීමට පෙර, පැවති මිල ගණන් සඳහන් නිෂ්පාදන අලෙවි කර ගැනීම සදහා අවම වශයෙන් මාසයක පමණ කාලයක් ලබා දිය යුතු වුවත් එවැන්නක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කර නොමැති බවයි.
මීට පෙර සිය අධිකාරිය සහ වතුර බෝතල් සමාගම් අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී සුපිරි වෙළෙඳසල් හරහා ජල බෝතලයක් රුපියල් 90කටත් සාමාන්‍ය වෙළෙඳසල් හරහා රුපියල් 80කටත් අලෙවි කිරීමට එකඟතාවක් ඇති කරගෙනද තිබෙන බවයි එම සමාගම් පවසන්නේ.
එම සංගම් පෙන්වා දෙන්නේ එවැනි එකඟතාවක් ඇති කරගෙන ඇති මොහොතක හදිසියේ එම මිලටත් වඩා අඩු මිල ගණන් සඳහන් පාලන මිලක් නියම කිරීම යුක්ති සහගත නොවන බවයි.
මාර්තු අවසන් සතියේදී පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් 2025 වසරේ අප්‍රේල් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බොන වතුර බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බවටයි අදාළ සමාගම්වලට දැනුම් දී තිබෙන්නේ.
එම නිසා පාලන මිලට පෙර නිෂ්පාදනය කරන ලද ජල බෝතල් තොග අලෙවි කර අවසන් කිරීමට අවම වශයෙන් මාසයක පමණ කාලයක් අවශ්‍ය වන බවයි ඔවුන් පවසන්නේ.
පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කළද එම මිලට ශ්‍රී ලංකාවේ කිසිදු වෙළෙඳසලක හෝ සුපිරි වෙළෙඳසල්වල ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් ගැසට් කර තිබෙන පරිදි මිලිලීටර් 500 – 999 අතර පානීය ජල බෝතලයක මිල රුපියල් 70ක්ද, ලීටර් 1 – 1.499 අතර රුපියල් 100ක් ද, ලීටර් 1.5 – 1.999 අතර රුපියල් 130ක් ද, ලීටර් 2 – 2.499 අතර රුපියල් 160ක් ද, ලීටර් 5 – 6.999 අතර රුපියල් 350ක්ද වනවා.
එහෙත් වෙළෙඳසල්වල ඇති මිලිලීටර් 500 – 999 අතර පානීය ජල බෝතලයක මිල සඳහන් කර ඇත්තේ රුපියල් 100ක් ලෙසත්, ලීටර් 1 – 1.499 අතර රුපියල් 140ක් ලෙසත්, ලීටර් 1.5 – 1.999 අතර රුපියල් 150ක් ලෙසත්, ලීටර් 5 – 6.999 අතර රුපියල් 440ක් ලෙසත් සඳහන් වනවා.