Latest News

සංජීව ඝාතන සිද්ධියට පෙර සෙව්වන්දි කල තවත් දෙයක් ගැන තොරතුරු හෙළිවේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ අධිකරණය තුළදී සිදු වූ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුම්කාරිනිය වන, දැනට සැඟවී සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සතුව ඊවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙකක් තිබී ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට දැනුම් දී ඇත්තේ, ඉෂාරා සෙව්වන්දි විසින් එම ඝාතන සිද්ධියේ දෙවැනි සැකකරු වන හිටපු පොලිස් කොස්තාපල් ප්‍රසන්න ඇතුගල වෙත WhatsApp මාර්ගයෙන් ගිනි අවි දෙකක ඡායාරූප යවා ඇති බවත්, ඒ අනුව ඇය සතුව ගිනි අවි දෙකක් තිබී ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බවයි.

විමර්ශකයින් සඳහන් කර සිටින්නේ, ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සිද්ධියෙන් පසු අධිකරණය තුළ දමා ගොස් ඇති බවට සාක්ෂි පවතින බවයි. එමෙන්ම, ඉෂාරා සෙව්වන්දි විසින් තෙවැනි සැකකරු වන ප්‍රසන්න ඇතුගල වෙත WhatsApp මඟින් යවා ඇති ඡායාරූපයේ දැකිය හැකි දෙවැනි ගිනි අවිය අත්අඩංගුවට ගැනීම සඳහා දැනට විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

පාතාල කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීව, කොළඹ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව Skype ඔස්සේ පසුගිය 21 වැනිදා නැවත කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.

සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් Skype තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් කටයුතු සූදානම් කර තිබුණා.

විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කර ඇත්තේ, මෙම ඝාතනයේ පූර්ව සැලසුම මීගමුව ප්‍රදේශයේ නිවසකදී සාකච්ඡා කර ඇති බවයි. තවද, ඉෂාරා සෙව්වන්දි විසින් සැකකාර හිටපු පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථනයට යොමු කර තිබූ ගිනි අවි දෙකේ ඡායාරූප ඔහු විසින් මකා දමා ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇති බවද ඔවුන් පවසා තිබෙනවා.

විමර්ශන නිලධාරීන් දැනට ගිනි අවි, විශේෂයෙන් ඡායාරූපවල දැක්වෙන දෙවැනි ගිනි අවිය සොයා ගැනීමට උත්සාහ කරමින් සිටින අතර, ගිනි අවියක් අධිකරණය තුළ හමු වූ බවට තහවුරු කිරීමෙන් පසුව මෙම නඩුවේ විමර්ශන තවදුරටත් ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දැනට පලා ගොස් සිටින ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් ගැන ද විමර්ශන කරමින් සිටිනවා.

අධිකරණය තුළ සිදු වූ මෙම ඝාතනය, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ආරක්ෂාව පිළිබඳව පවතින ගැටලු මතු කර ඇති අතර, අධිකරණ ආරක්ෂාව තර කිරීම සඳහා නව පියවර ගැනීමට අදාළ බලධාරීන් දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

නඩුව තවදුරටත් විභාග කිරීම සඳහා ඉදිරි දිනකදී නැවත කැඳවන බව අධිකරණය නියෝග කර තිබෙනවා.

World News

Send your contact Details Today