මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුවයි.
මෝසමක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා රැඳී සිටින බවට ලද ස්ථාන 10ක් පරීක්ෂා කළ බවත් තවත් ස්ථාන 18ක බුද්ධි අංශ නිලධාරීන් ස්ථානගත කළ ද ඔහු ව සොයාගැනීමට නොහැකි වූ බවයි.
එබැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.
දැනට විදෙස්ගත ව සිටින සැකකරු සහ දේශබන්දු තෙන්නකෝන් හැර සෙසු සැකකාර පොලිස් නිලධාරීන් 08 දෙනා මාර්තු මස 08 වැනි දින ස්වේච්ඡාවෙන් භාර වී ප්‍රකාශ ලබා දුන් බවත් අධිකරණයට කරුණු වාර්තා කළා.
මෙම සියලු කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන විනිසුරු අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කළ බවයි වාර්තා වන්නේ.
තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඊයේ (10) ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ වග උත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා හෙට (12) කැඳවන ලෙසයි.
2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවු අතර එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිසරයෙන්වරයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 27 වැනිදා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළා.
ඒ අනුව හිටපු පොලිස්පපති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 07ක් ක්‍රියාත්මක වුව ද දින 12ක් තිස්සේ ඔහු ව සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදි බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.
මේ අතර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දිවා රෑ නොබලා විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (11) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ බව සඳහන් කළා.
මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ දේශබන්දු තෙන්නකෝන්, හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සැඟවී සිටින බවට සමාජයේ කතාබහක් මතුව ඇති බවත් ඒ,අනුව ඔහුගේ නිවස පරීක්ෂාවල ලක් කිරීමක් සිදුකළේ ද යන්නයි.
එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයා ස්වරූපය වෙනස්කරගෙන ස්වාමීන් වහන්සේ නමක් වෙසින් පන්සලක රැඳී සිටින බවට ද සමාජයේ කතාබහක් මතුව ඇති බව ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයා දැනුම්වත් කර සිටියා.
මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යඅරයා පවසා සිටියේ එලෙස දන්නා තොරතුරු පොලිසියට ලබාදීම මහජනතාව සහ මාධ්‍යවේදීන් ලෙස ඔවුන්ගේ වගකීමක් බවයි.