ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස ප්‍රකට මාලිනී ෆොන්සේකා මහත්මිය මේ වනවිට පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
දැනට 77 වන වියෙහි සිටින මාලනී ෆොන්සේකා මහත්මිය දිගු කලක සිට පියයුරු පිළිකා රෝගයකින් පෙළෙන අතර ඇය නිසි ලෙස ඖෂධ ලබා නොගැනීම හේතුවෙන් රෝගය උත්සන්න වී තිබෙන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
ඇගේ සුවය වෙනුවෙන් විවිධ ආගමික සහ සමාජ ක්‍රියාකාරකම් ද සංවිධානය කර තිබෙනවා.
“සිල්වර් ස්ක්‍රීන්” සංවිධානය විසින් මාලිනී ෆොන්සේකා මහත්මිය, ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා, සතිස් චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු සියලුම කලාකරුවන් වෙනුවෙන් මහා බෝධි පූජා සෙත් පින්කමක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වූ බවද වාර්තා වුණා.
මෙම ආගමික වතාවත් තුළින් ඇගේ ඉක්මන් සුවය පතා ජනතාව එක්රැස් වී සිටින අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනා ඇය වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරමින් සිටිනවා.
වන්නියාරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් 1947 අප්‍රේල් 30 වන දින කැලණිය ප්‍රදේශයේදී උපත ලැබූ ඇය, ශ්‍රී ලාංකේය සිනමාවේ “නිළි රැජින” ලෙස පුළුල් පිළිගැනීමකට පාත්‍ර වී සිටින චරිතයක් වනවා.
ගිල්බට් ෆොන්සේකා සහ සීලවතී ෆොන්සේකා යන දෙමාපියන්ගේ දරුවන් එකොළොස් දෙනාගෙන් තුන්වැන්නා ලෙස උපත ලැබූ ඇය, 1952 දී නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ සිය අධ්‍යාපනය ආරම්භ කර පසුව ගුරුකුල මහා විද්‍යාලයට ඇතුළත් වුණා.
මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙක් සිනමා ක්ෂේත්‍රයේ නියැලී සිටින අතර ඇගේ සහෝදරියන් වන ශ්‍රියානි, රසාදරී සහ දමයන්ති යන තිදෙනා මෙන්ම, සහෝදරයන් වන දයානන්ද සහ ආනන්ද ද සිනමා කර්මාන්තයේ නියැලී සිටිනවා.
ඇගේ මස්සිනාවරුන් අතර ප්‍රවීණ නළු කරුණාරත්න හංගවත්ත සහ අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ සිටින අතර, ඇගේ දෙවන පරපුරේ දරුවන් අතර සමනලී ෆොන්සේකා සහ සෙනාලි ෆොන්සේකා වැනි නිළියන් ද වනවා.
2012 දී ඇගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා වන දයානන්ද මිය ගිය අතර, ඇගේ අනෙකුත් සහෝදරයන් වන ආනන්ද සහ උපාලි 2020 දී මිය ගියා.
2010 අප්‍රේල් මාසයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසද ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළා.
පියයුරු පිළිකා තත්වයක් හේතුවෙන් ඇය කලක් තිස්සේ රෝගාතුරව සිටින අතර, දැන් අසාධ්‍ය තත්වයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලාංකේය සිනමාවේ වර්ධනයට විශාල දායකත්වයක් සපයා ඇති ඇගේ අසනීප තත්වය පිළිබඳව මුළු රටම කනස්සල්ලෙන් පසුවන අතර, ඇගේ ඉක්මන් සුවය සඳහා ජනතාව විවිධාකාරයෙන් ප්‍රාර්ථනා කරමින් සිටිනවා.