ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමනින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර තිබෙනවා.
ඒ සිය ප්‍රාණඇපයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදාහැරීමට හමාස් සංවිධානය වෙත පීඩනය එල්ල කිරීමේ අරමුණින්.
මිලියන දෙකකට අධික ජනගහනයක් වාසය කරන එම ප්‍රදේශයේ සියලුම ආධාර සැපයුම් ඊශ්‍රායලය විසින් කපා හැරීමෙන් සතියකට පසුවයි ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය එලි කොහෙන්ගේ මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
විදුලිය විසන්ධි කිරීමේ තීරණය ප්‍රධාන වශයෙන් පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ඉතා වැදගත් වන ලවණ ඉවත් කිරීමේ කම්හල්වල ක්‍රියාකාරිත්වයට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායලය ජල සැපයුම් කපා හැරීම කර නොමැති බව වාර්තා වනවා.
යුද්ධයේ මුල් අවධියේදී ඊශ්‍රායලය ගාසා තීරයේ ප්‍රධාන විදුලි සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් කපා හැරියා.
මේ අතර මාර්තු 1 වනදා අවසන් වූ සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා වන සාකච්ඡා සඳුදා කටාර්හිදී නැවත ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.