Latest News

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාවෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.

කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන්කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව එහි නවතම සැසියේදී බෙලරුස්, බෙලීස්, කොංගෝ, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ලිච්ටෙන්ස්ටයින්, ලක්සම්බර්ග්, නේපාලය සහ ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචනයෙන් පසුවයි මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම කමිටුව ලිංගික ප්‍රචණ්ඩත්වය සහ වෙනත් ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව සැළකිලිමත් වී ඇති අතර, අවම වශයෙන් කාන්තාවන් පස්දෙනකුගෙන් එක් අයකු සමීප සහකරුවකු විසින් ශාරීරික සහ/හෝ ලිංගික හිංසනයට ලක්වන අතර, අසමානුපාතික ලෙස අඩු නඩු පැවරීම් සහ වරදකරුවන් වීමේ අනුපාතයන් ගැන ද දක්වා තිබෙනවා.

විවාහක ස්ත්‍රීන් දූෂණයට ලක්වීම සහ සමීප සහකරු විසින් සිදුකරන ප්‍රචණ්ඩත්වය නිශ්චිතවම අපරාධයක් නොවීම සම්බන්ධයෙන් ද ඔවුන් කනස්සල්ල පළකර තිබෙනවා.

ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළු කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ සාපරාධී ස්වභාවය පිළිබඳ මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාර තීව්‍ර කරන ලෙස කමිටුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා.

සෑම අවස්ථාවකදීම විවාහක දූෂණය පැහැදිලිවම අපරාධයක් බවට පත්කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන ලෙසද එය රාජ්‍ය පාර්ශවයෙන් ඉල්ලා තිබෙනවා.

කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් ඵලදායි ලෙස විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ අධිකරණ බලධාරීන්ගේ හැකියාව ශක්තිමත් කිරීමට ද එම කමිටුව නිර්දේශ කර තිබෙනවා.

එසේම, ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටි විනිවිද පෙනෙන පරිදි සකස්කර, වෙනස් කොට සැලකීම්වලින් තොර සහ රජයේ මැදිහත්වීම් වලින් තොර බව සහතික කිරීම සඳහා, ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන අවශ්‍යතාව සහ රාජ්‍ය නොවන සංවිධාන අනිවාර්ය ලියාපදිංචි කිරීම අනිවාර්ය කරන අදාළ නියෝගය ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා.

World News

Send your contact Details Today