යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසනවා.
ඊට අමතරව, සෙලෙන්ස්කී ඉල්ලා ඇත්තේ, යුක්රේනයට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ද හිමිවිය යුතු බවයි.
‘යුක්රේනයට සාමය උදා වෙන්නේ නම්, මා දැන්ම ජනාධිපති ධුරයෙන් සමුගන්නවා. හැබැයි යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවිය යුතුයි. එසේ සාමාජිකත්වය හිමිවෙනවා නම්, මා ධුරයෙන් ඉවත් වීමට සූදානම්’ යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත.
යුක්රේන – රුසියන් යුද්ධයට මේ වනවිට වසර තුනක් ගතවී ඇති අතර යුද්ධය ආරම්භ වීමට හේතුව, යුක්රේනය විසින් නේටෝ සාමාජිකත්වය ඉල්ලීමයි.
‘නේටෝ’ යනු යුද සන්ධානයක් වන අතර අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට” ලෙසයි සෙලෙන්ස්කී පවසන්නේ.
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්රිටාමාර්ගයක් අනුගමනය කළේ එම හේතුව නිසයි.
යුක්රේන – රුසියන් යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ ඔහුගේ පරිපාලනය කටයුතු කරමින් සිටිනවා.
අමෙරිකන් නියෝජිතයන් සහ රුසියන් නියෝජිතයන් අතරේ හමුවක් ද පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වුණා.
කෙසේවෙතත් එම සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කිරීමක් සිදු වූයේ නැහැ.
මේ සම්බන්ධයෙන් යුක්රේන ජනපති සෙලෙන්ස්කී මැසිවිලි නගද්දී, ට්රම්ප්, යුක්රේන ජනාධිපතිට චෝදනා කළේ, ඔහු ඒකාධිපතියකු කියායි.
ඒ, රුසියන් – යුක්රේන යුද්ධය අතරතුරේ සෙලෙන්ස්කීගේ ධුර කාලය අවසන් වුණු බැවින් සහ සෙලෙන්ස්කී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකිරීම හේතුවෙන්.