ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ඇතුළුව පසුගිය සතියේ අමෙරිකාවේ සිට පැනමාවට පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් 100 කට ආසන්න පිරිසක් ඔවුන් රඳවා සිටි පැනමා අගනුවර පිහිටි හෝටලයක සිට එරට ඩැරියන් වනාන්තර කලාපයට ගොස් ඇති බව පැනමා රජය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පැනමා ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ඉකුත් දා අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් 299 දෙනාගෙන් 13 දෙනෙකු ඔවුන්ගේ මව් රටවලට ආපසු යවා ඇති බවයි.
එලෙස මව් රට බලා යෑමට කැමැත්ත පළකළ තවත් 175 දෙනකු පැනමා නගරයේ හෝටලයක රැඳී සිටි බව ද එම අමාත්‍යංශය පවසනවා.
පැනමා රජයට අනුව, එම සංක්‍රමණිකයන් ප්‍රාදේශීය බලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සහ අමෙරිකාවට සම්බන්ධ අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය හරහා අමෙරිකාවේ මූල්‍ය ආධාර යටතේ අදාළ හෝටලයේ රැඳී සිට තිබෙනවා.
එම සංක්‍රමණිකයන් අතර ඇෆ්ගනිස්ථානය, චීනය, ඉන්දියාව, ඉරානය, නේපාලය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, තුර්කිය, උස්බෙකිස්තානය සහ වියට්නාමය යන රටවලින් පැමිණි පුද්ගලයන් සිටි බවයි පැනමා ජනාධිපති ජෝස් රාවුල් මුලිනෝ පවසා ඇත්තේ.
ඔවුන් පැනමාවට පැමිණ ඇත්තේ අමෙරිකාවෙන් පිටුවහල් කළ පසු එම පිරිස භාරගැනීමට පැනමාව කැමැත්ත පළකිරීමෙන් අනතුරුවයි.
අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම කඩිනම් කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය විසින් සංක්‍රමණිකයන් පිටුවහල් කරමින් සිටිනවා.
ට්‍රම්ප්ගේ එම සැලැසුමට එල්ල වී ඇති එක් අභියෝගයක් වන්නේ, රාජ්‍යතාන්ත්‍රික සබඳතා හෝ වෙනත් හේතූන් මත අමෙරිකාවෙන් පිටුවහල් කෙරෙන පිරිස් රැගත් ගුවන් යානා පිළිගැනීම ප්‍රතික්ෂේප කරන රටවලින් පවා සංක්‍රමණිකයන් අමෙරිකාවට පැමිණ සිටීමයි.
පැනමාව සමඟ ඇති විධිවිධානය එක්සත් ජනපදයට මෙම ජාතිකයන් පිටුවහල් කිරීමට ඉඩ සලසන අතර ඔවුන් ආපසු ගෙන්වා ගැනීම සංවිධානය කිරීම පැනමාවේ වගකීමක් බවට පත්කරනවා.
මෙම ක්‍රියාවලිය මානව හිමිකම් කණ්ඩායම් විසින් විවේචනයට ලක්කර තිබෙනවා.
සංක්‍රමණිකයින්ට අයුතු ලෙස සලකනු ඇතැයි එම කණ්ඩායම් කනස්සල්ලට පත්ව සිටින අතර, ඔවුන් අවසානයේ ප්‍රචණ්ඩකාරී හෝ යුද්ධයෙන් විනාශ වූ ඇෆ්ගනිස්ථානය වැනි රටවලට ආපසු ගියහොත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන අවදානමක් පවතින බව ද පවසනවා.