කොවිඩ් වසංගතයේ මූලාරම්භය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටීමේ ප්‍රකාශයට විරෝධතාව පළ කරමින් වසර 2020 දී බිඳ වැටුණු ඔස්ට්‍රේලියා – චීන සම්බන්ධතා යළි ස්ථාවර තත්ත්වයකට පත් කිරීමත් සමඟ දෙරට අතර වෙළෙඳ ගනුදෙනු ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගියදා නිකුත් වූ ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධ වාර්තාවකට අනුව පසුගිය වසරේදි ඔස්ට්‍රේලියාවෙන් චීනයට ගල් අඟුරු ආනයනය 270% කින් ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ් වසංගතයේ මූලාරම්භය චීනයෙන් සිදුවූ බවට බටහිර රටවල් එවකට චෝදනා කළ අතර, මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටි රටවල් අතරට ඔස්ට්‍රේලියාව ද එක්වී සිටි බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාව එවැනි පියවරක් ගැනීමෙන් පසු එරටින් ආනයනය කරනු ලබන ගල් අඟුරු, තඹ, සීනි, කපු, වයින් සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට චීනයෙන් දැඩි සීමා පනවා තිබූ බවත්, පසුගිය වසරේදි චීන අගමැති ලී කියැංගේ ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුර පැවැති සාකච්ඡාවෙන් පසු එම සීමාවන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.