ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් හේතුවෙන් අඩපණ වූ ආසියාව, ගල්ෆ් කලාපය සහ යුරෝපය අතර ඓතිහාසික ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ඉන්දියාව සහ ප්‍රංශය අතර සාකච්ඡා පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෘත්‍රිම බුද්ධි සමුළුවට සහභාගිවීම සඳහා පසුගියදා පැරිස් නුවර සංචාරය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් අතර මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
ඉන්දියාව සහ යුරෝපයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එම ආර්ථික කොරිඩෝව අතිශය වැදගත් සාධකයක් වන බව අවධාරණය කරමින් එම ව්‍යාපෘතිය නැවත පණ ගන්වන බවට දෙරටේ නායකයන් නිවේදනය කර තිබෙන බවත් සඳහන්.
ඉන්දියාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊශ්‍රායලය සහ ග්‍රීසිය දක්වා මුහුදු මාර්ගයෙන් සහ ගොඩබිම මාර්ගයෙන් විහිදුණු ඉන්දීය, ගල්ෆ් සහ යුරෝපා ආර්ථික කොරිඩෝව වසර 2023 සැප්තැම්බරයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති G20 සමුළුව අතරතුරදී හඳුන්වා දුන් ව්‍යාපෘතියක් වනවා.