ලෝක ආගමික උත්සව අතරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම උත්සවය ලෙස සැලකෙන ඉන්දියාවේ ‘කුම්භමේලා’ උත්සවයට රටවල් 77ක බැතිමතුන් සහ දූත පිරිස් පැමිණ සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ් නුවරදී පසුගිය ජනවාරි මස 13 වැනිදා ආරම්භ වූ මේ පූජා උත්සවය මේ මස 26 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා ලොව පුරා හින්දු බැතිමතුන් මිලියන 400ක් සහභාගි වන බවයි වාර්තා වන්නේ.
ලෝක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ඇතුළු 118 දෙනකුගේ කණ්ඩායමක් ද පසුගියදා ප්‍රයාග්රාජ් නුවරට ළඟා වූ බව එරට මාධ්‍ය සඳහන් කරනවා.
කුම්භමේලා උත්සවය අතරතුර පසුගියදා සිදුවූ තෙරපුමකින් බැතිමතුන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ පිරිස 60කට ආසන්න වූ බව වාර්තා වනවා.
අතිවිශාල බැතිමතුන් පිරිසක් සහභාගි වන බැවින් සනීපාරක්ෂක, වෛද්‍ය හා ආරක්ෂක පහසුකම් සැලසීමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය පියවර ගෙන ඇති බවත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතය ද ඇතුළත්ව අතිවිශාල ආරක්ෂක හමුදාවක් සහ ගිනි නිවන හමුදාව ඇතුළු හදිසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ද ඉදිකිරීම පියවර ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.