කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම රටවල් දෙක සඳහා අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සියයට 25 ක තීරුබද්ද මාසයක කාලයක් මෙලෙස අත්හිටුවීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
දේශසීමා ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට පියවර ගැනීමට මෙක්සිකෝව සහ කැනඩාව එකඟ වීමෙන් පසුව ට්‍රම්ප් සිය තීරණය ආපසු හැරවීමට කටයුතු කරනු ලැබුවා.
කැනඩාව, මෙක්සිකෝව සහ චීනයට තීරුබදු පැනවීමට මීට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා දුන් නියෝගයත් සමඟ යුරෝපයේ සහ ආසියාවේ කොටස් වෙළෙඳපොළ පසුබෑමකට ලක්ව තිබෙනවා.
ඒ අනුව යුරෝපා කොටස් වෙළෙඳපොළ සියයට එකකින් සහ ජපාන කොටස් වෙළෙඳපොළ 2.7%කින් පසුබෑමකට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.