Latest News

ශ්‍රී ලංකාවේ 77 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරයි (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව් 77 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත්ව හා චාම් අයුරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙවර නිදහස උලෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩියෙන් සහභාගි කරවා ගැනීමට ද රජය සැලසුම් කර තිබෙනවා.

නිදහස් දින සැමරුම් පෙළපාළියේ සංයුතියද මෙවර වෙනසකට භාජන කර ඇති අතර මින් පෙර යෙදාගත් හමුදා සංයුතිය 40%කින් අඩු කර තිබෙන බව සඳහන්.

ඒ අනුව හමුදා සාමාජිකයන් 1873කු පමණක් මෙවර සහභාගි කරවා ගැනීමට නියමිතයි.

ගිය වසරේදී පෙළපාළිය සඳහා 3384 දෙනකු සහභාගි කරවා ගෙන ඇති අතර ඒ අනුව මෙවර සෙබළුන් 1511 දෙනකුගේ අඩුවීමක් දක්නට ලැබෙනවා.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගැනීමට තීරණය කර ඇති අතර නාවික හමුදාව විසින් පවත්වන සාම්ප්‍රදායික වෙඩිමුර 25 මෙවරද පවත්වනු ලබනවා.

ගියවර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ අද  (04)දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවයි.

අද (04) දිනයේ විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙවර නිදහස් දිනය සුවිශේෂ දිනයක් බවත් නිදහසේ සිහිනය එක්ව දැකිය යුතු අතර එය එක්ව සැබෑ කරගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මෙතෙක් අතීතය දෙස බලා සැමරූ නිදහස අද දිනයේ අනාගතය දෙස බලාගෙන සමරනු ලබන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

උතුරේ, දකුණේ, නැගෙනහිර හා රට මැද ජනතාව අනාගත පොහොසත් රාජ්‍යයක් ගැන මෙන්ම නුතන ශ්‍රී ලාංකික ජාතියක් ගැන සිහින දකිමින් සිටින මොහොතක නිදහස් දිනය සැමරීමට ලැබීම විශේෂත්වයක් බවයි නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.

අද උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 77 වන නිදහස් දින සැමරුම ආරම්භ කෙරුණා.

“මේ දවස උදාකිරීම වෙනුවෙන් ආත්මීය පරිත්‍යාග කළ සියලු විරෝධාර මිනිසුන්ට අපේ ආචාර්ය පුද කළ යුතු දවසක් අද. ඒ වගේම නිදහස පූර්ණ වශයෙන් අත්පත් කරගැනීම වෙනුවෙන් ඔවුන් ලබාදුන් යෂ්ටිය රැගෙන 1948න් පසුව තවත් විරෝධාර මිනිසුන් අපේ නිදහස වෙනුවෙන් ගමන් කළා. ඒ යෂ්ටිය රැගෙන 77 වන නිදහස සමරන මේ මොහොත දක්වා අපි දීර්ඝ  ගමනක් ඇවිත් තියෙනවා. ඒ ගමන තුළ අපි දන්නා වීරවරුන් හා වීරවරියන් සේම අපි නම් නොදන්නා අපේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සුවහසක් වීරෝධාර මිනිසුන්ගේ ලේ, කඳුළු, දහඩිය මතින් අද දක්වා අපි පැමිණ තිබෙනවා. ඒ සියලුදෙනාට අපගේ ආචාර්ය හිමිවෙනවා.

අපිට අපේ ආර්ථික නිදහස වෙනුවෙන් සමාජ, සංස්කෘතික නිදහස වෙනුවෙන් නූතන පුරවැසියන් ලෙස අභිමානවත්ව මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය නිදහස නිර්මාණය කරගැනීම වෙනුවෙන් එක්ව යා යුතු ගමනක් තිබෙනවා. කාලයක් පුරා යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කළ ජනවාර්ගික, ආගමික, කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයින් අතර, ආයතන ප්‍රධානීන් හා සේවකයින් අතර රාජ්‍ය සේවකයින් හා පොදු ජනතාව අතර ගුරුවරුන් හා සිසුන් අතර යන සෑම කේෂ්ත්‍රයකම මුල් බැසගත් අගතින් සෝදාහැර මේ සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙනවා.

අප මතක තියා ගත යුතුයි රටට ආර්ථික, සමාජීය, සංස්කෘතික නිදහස පුර්ණ ලෙස දිනාගැනීමේ මෙහෙයුම තුළ ඔබ අප සියලුදෙනා එකම අරගල බිමක අරගලකරුවන් වන බව අප සියලුදෙනා එකාවන්ව මේ මාතෘභූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා. මේ මෙහෙයුම තුළ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් හා ධීවරයින් ලෙස ඔබට එහි භූමිකාවක් තියෙනවා. අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන ඒ දැනුමින් අනාගත පරපුර පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට කාර්යභාරයක් තිබෙනවා. අපේ ජාතියේ නිරෝගීකම සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාධරයින් ලෙස ඔබට එහි කාර්යභාරයක් තියෙනවා. අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කරන පොලීසිය හා ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තියෙනවා. ඔබ සියලුදෙනාට සුවිශේෂ භූමිකාවක් තියෙනවා. ගෝලීය ආර්ථික පද්ධතිය තුළ දුබලයෙක් නොවී සෑම චලනයකින් ම තැලෙන පෑගෙන යටත් වැසියෙක් නොවී, ආර්ථික තලයේ නිදහස සාක්ෂාත් කරගැනීමට නම් අප සියලුදෙනා එක්ව මේ මාතෘභූමිය වෙනුවෙන් කැප විය යුතුයි. අපේ ඒ ආර්ථික නිදහස වෙනුවෙන් අපි කරන අරගලය තුළ අපේ සමාජීය, සංස්කෘතික නිදහස කිසිසේත්ම දෙවැනි කොට සැලකීමට අප සුදානම් නැහැ.

ඔබට අප විසින් භාරදෙනු ලබන රට අපට ඉතිහාසය විසින් භාරදුන් රට නොව ඔබ ජීවත් කිරීමට ආසා කරන පුරවැසි අභිමානය ගරු කරන දියුණු සංස්කෘතික රටක් වන බවයි. එමෙන්ම මානව ශිෂ්ටාචාරය මේ වනවිට අත්පත් කරගෙන ඇති විද්‍යාත්මක තාක්ෂණ හා චින්තනමය ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයින් ලෙස අත්විඳීමට ඔබට ඇති හිමිකම තහවුරු කළ රටක් වන බව ස්ථීර ලෙස මා ඔබ හමුවේ මෙසේ පවසන්නේ, ඉතිහාසය විසින් අපට උරුමකර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට යුක්ති සහගත අයිතියක් නොවන නිසයි. අපි එසේ නොකළ බවට අනාගතය සාක්ෂි දරයි.

මේ නිදහසේ සිහිනය එක්ව දකිමු. ඒ සිහිනය එක්ව සැබෑ කරගමු. ඔබ සහ මම අප සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නුතන දේශපාලන ලෝකයේ නොමැකන ආදර්ශයක් බවට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකා රාජ්‍ය පත්කරන ගමනක් විය හැකි බව ද මතක තබා ගන්න. නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත් රට බවට පත්විය නොහැකිය. නමුත් අපි උත්සාහ කළොත් අපිට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සමානාත්මතාවය හා නිදහසේ රාජ්‍ය බවට පත්විය හැකියි.”

World News

Send your contact Details Today