එංගලන්තයේ නැඟෙනහිර සසෙක්ස් ප්‍රාන්තයෙන් නව වඳුරු උණ ආසාදිතයෙකු හඳුනාගත් බව එරට සෞඛ්‍යාරක්ෂක ඒජන්සිය තහවුරු කර තිබෙනවා.
එම රෝගියා දැනට ජාතික සෞඛ්‍ය ඒකකයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගනිමින් සිටින බව ද එංගලන්තයේ සෞඛ්‍යාරක්ෂක ඒජන්සිය වැඩිදුරටත් නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
නව වඳුරු උණ රෝගියා මෑතකදී උගන්ඩාවේ සිට පැමිණි අයකු බවත්, ඔහු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට එංගලන්තයෙන් වාර්තා වූ 6 වැනි රෝගියා බවත් වාර්තා වනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එංගලන්තයේ පළමු වඳුරු උණ රෝගියා වාර්තා වීමෙන් පසු හඳුනාගත් සෙසු ආසාදිතයන් තිදෙනකුම පළමු රෝගියා සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් වන බවත්, ලීඩ්ස් නුවරින් වාර්තා වූ පස්වැනි රෝගියාට සහ සසෙක්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ 6 වැනි රෝගියා අතර කිසිදු සම්බන්ධතාවක් නොතිබූ බවත් හෙළි වී තිබෙනවා.
කෙසේ වුවද එංගලන්තයේ සෞඛ්‍යාරක්ෂක ඒජන්සිය සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ජනගහනයට සාපේක්ෂව වඳුරු උණ ව්‍යාප්තිය අවදානම අඩු මට්ටමක පවතින බවයි.
මධ්‍යම අප්‍රිකාවෙන් පළමුවරට හඳුනාගත් සැරව පිරුණු තුවාල, උණ, හිසරදය සහ ශරීර ශක්තිය දුර්වල වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන වඳුරු උණ වසංගතය මිනිසුන් අතර වඩාත් පහසුවෙන් සම්ප්‍රේෂණය වන බව වෛද්‍ය විශේෂඥවරුන්ගේ අදහස වී තිබෙනවා.